ආර්ථික සංවර්ධනයේ පෙරමුණ ගෙන සිටින චීනයේ සිචුවාන් පළාත සහ ශ්රී ලංකාව අතර සබඳතා නව තලයකට ගෙන ඒමට ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාත් ලේකම් අතර හමුවේදී අවධාරණය කෙරිණි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ පසුගියදා (17) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාත් ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා හමුවූ අවස්ථාවේදීය.
බලශක්ති ඇතුළු ක්ෂේත්ර රැසක් ඔස්සේ සිචුවාන් පළාත ලබා ඇති ජයග්රහණය ශ්රී ලංකාව සමඟ බෙදා හදා ගන්නා ලෙස මෙහිදී පළාත් ලේකම්වරයාට ආරාධනා කළ ජනාධිපතිවරයා මේ වනවිට ශ්රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් පවතින බවත්, විනිවිදභාවයෙන් යුත් පාලනයකින් රට තුළ ආයෝජන සඳහා ඉතා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් පැවසීය.
මේ වනවිට ශ්රී ලංකාව පසුවන්නේ දේශපාලනයේ හැරවුම් ස්ථානයක බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උතුර, නැඟෙනහිර, බටහිර, දකුණ සියලු ජනතාව එක්ව තුනෙන් දෙකක බලයක් දෙමින් වත්මන් රජය බලයට පත් කර ගත් බවත්, එම ජනවරම තුළ ජනතාව තැබූ අපේක්ෂා උපරිමයෙන් ඉටු කිරීමට රජය කැපවී සිටින බවත් සඳහන් කළේය.
චීන සංචාරකයන් සඳහා ශ්රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපතිවරයා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කරන බව ද පැවසීය.
සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැකගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන සිචුවාන් පළාතේ චන්දු නගරය චීනයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වන නගරයක් ලෙස ප්රමුඛස්ථානයක් ගෙන තිබේ. ආර්ථික සංවර්ධනය අතින් ද සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික, සංචාරක මෙන්ම අන්තර් රාජ්ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ මේ හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ප්රවාහන , මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.