පොලිස්පතිවරයාගේ සිට පහළට සෑම තරාතිරමක නිලධාරියකුටම දේශපාලන බලපෑමකින් තොරව රාජකාරි කිරීමට අවස්ථාවක් දැන් ලැබී තිබෙන බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.
දේශපාලන බලපෑමකින් තොරව පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වීමට පොලීසියට බලය ලැබී ඇති බැවින් එහි ප්රතිලාභ ලැබෙන්නේ ද මහජනතාවට බව වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දෙයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගියදා (17) පැවති මාධ්‍ය හමුවකදී වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේය.
නාවල නිහාල්, ගෝනවල සුනිල්, වම්බොට්ටා ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දැඩි වර්ධනයට දේශපාලනයේ සම්බන්ධකම් තිබුණු බව හැමෝම දන්නා රහසක් බව ද වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය. හැම සංවිධානාත්මක අපරාධකාරයකු පිටුපසම දේශපාලනය තිබුණු බව පෙන්වා දෙන වැඩබලන පොලිස්පතිවරයා පවසන්නේ පොලීසියට මෙම සංවිධානාත්මක අපරාධ සහ අපරාධකරුවන් මැඬලීමට හැකියාව තිබුණත් යම් යම් දේශපාලන බලපෑම් තිබුණු බවය.
Òසංවිධානාත්මක අපරාධ පිටුපස දේශපාලනයක් තිබුණා. ශ්‍රී ලංකා පොලීසියට මේ අපරාධකරුවන් මර්දනය කරන්න පුළුවන් වුණත් ඒ දේශපාලනයේ බලපෑම් මත ඒවා කරන්න අවස්ථාවන් නැති වුණා. දශක කිහිපයක් තිස්සේ වර්ධනය වූ පාතාලය, සංවිධානාත්මක අපරාධ වරින්වර තීව්ර වෙමින් වැඩි වුණා. නව රජයේ ප්‍රතිපත්ති එක්ක සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා පොලීසියට වගකීමක් තියෙනවා මේ අපරාධකරුවන් නීතියේ රැහැනට ගේන්නÓ යැයි ද වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.
විදේශගතව සිටිමින් අපරාධ මෙහෙයවන පුද්ගලයන් හඳුනාගෙන සිටින බවත් එම අපරාධකරුවන්ට එරෙහිව රතු නිවේදන ලබාගෙන ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා පවසයි. එම අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කරයි. පොඩි ලැසී නමැති අපරාධකරුව ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමට පවා කටයුතු කළ බවත් ළඟදීම ඔහුව මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට අපරාධකරුවන් 65කට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. ප්‍රධාන අපරාධකරුවන් සහ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ දෙවැනි හා තෙවැනි පෙළ දැනටමත් හඳුනාගෙන ඇති බවත් ඒ අය 1415 දෙනකු සිටින බවත් වැඩබලන පොලිස්පතිවරයා කීය.
Òතිත්ත ඇත්ත තමයි අපරාධකරුවන් බන්ධනාගාරගතව ඉඳගෙනත් අපරාධ මෙහෙයවන බවÓ යැයි ද වැඩබලන පොලිස්පතිවරයා කීය.
පොලිස් ස්ථානාධිපතිවරු දේශපාලනඥයන්ගේ වුවමනාවන්ට අනුව පත්කිරීම් ගැන පූර්වගාමී පොලිස්පතිවරයකු විසින් කළ ප්‍රකාශයකින් පොලීසිය පසුගිය කාලයේ කොතරම් දේශපාලනීකරණය වී තිබුණේදැයි පෙනී යන බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවසීය. පොලිස් ස්ථානාධිපතිවරු පමණක් නොව, පොලිස් ස්ථානවල අංශ භාර ස්ථානාධිපතිවරු පවා පත් කිරීමට දේශපාලන බලපෑම් තිබී ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. මෑතකදී කළ සමීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ පොලිස් ස්ථානවල සේවයේ නිරත එවන් නිලධාරීන්ගෙන් සියයට 40ක් පමණ ඔවුන්ගේ ගමේ පොලිස් ස්ථානවලම සේවයේ නිරත වන බව ද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය. දේශපාලනඥයන් තමන්ගේ ස්ථාවරභාවය සකස් කර ගැනීමට නිලධාරීන් අනුයුක්ත කරගෙන ඇති බව ද වැඩබලන පොලිස්පතිවරයා කීය.