මුල් පෙළ පිතිකරුවන්ගේ කඩා වැටීමෙන් ශ්‍රී ලංකාව පළමු එක්දින තරගය පරදී

අවිශ්ක ප්‍රනාන්දු සටන්කාමී අර්ධ ශතකයක් රැස් කළත් සෙසු මුල් පෙළ පිතිකරුවන් දැක්වූ දියාරු පිතිහරඹය හේතුවෙන් නවසීලන්තය සමඟ ඊයේ වෙලිංටන්හිදී පැවති පළමු තරගයෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක පරාජයක් අත්විය.

මේ සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට හැකි විය.

නවසීලන්ත පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 178කට දැවී ගිය අතර, එම ඉලක්කය ඕවර 26.2කදී පහසුවෙන්ම සපුරාගත් නවසීලන්තයට අහිමි වූයේ කඩුල්ලක් පමණි.

විල් යංග් නොදැවි ලකුණු 90ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය අතර, රචින් රවින්ද්‍ර ලකුණු 45ක් සහ මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 29ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී චමිඳු වික්‍රමසිංහ කඩුල්ලක් දවාගත් අතර, ඒෂාන් මාලිංග ඊයේ ජගත් එක්දින තරග වරම් ලැබුවත් කඩුලු දවා ගැනීමට නොහැකි විය.

මුල පෙළ පිතිකරුවන් එක පිට එක දැවී යද්දී එක් අන්තයක් රැකගත් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56කින් ඉනිම සවිමත් කළ අතර, ඔහුට අනගි සහායක් දුන් ජනිත් ලියනගේ (36) 5 වැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් ගොඩනැඟූහ. මේ දෙදෙනාම මුළු ලකුණු 110දී දැවී යන විට ශ්‍රී ලංකා පිලේ නම ගිය පිතිකරුවන් සියලු දෙනා යළි ක්‍රීඩාගාරයේ අසුන්ගෙන සිටියහ. අනතුරුව එක්වූ චමිඳු වික්‍රමසිංහ සහ වනිඳු හසරංග ඉනිම ලකුණු 175 සීමාවට රැගෙන ගියහ. චමිඳු ලකුණු 22ක් වනිඳු ලකුණු 35ක් ඉනිමට එක් කළහ. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි ඕවර 10දී ලකුණු 19ක් පමණක් දෙමින් කඩුලු 4ක් දවාගත් අතර, ඔහු තරගයේ වීරයා ලෙස ද නම් කෙරිණි. ජකොබ් ඩෆී සහ නෙදන් ස්මිත් කඩුලු 2 බැඟින් දවා ගත්හ.

දෙපිල අතර තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා (8) හැමිල්ටන්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව

පැතුම් නිස්සංක ඇ.සැන්ට්නර් ප.හෙන්රි 9

අවිශ්ක ප්‍රනාන්දු ඇ.පිලිප්ස් ප.ස්මිත් 56

කුසල් මෙන්ඩිස් ප.ඩෆී 2

කමිඳු මෙන්ඩිස් දුවද්දි දැවී ගියා 3

චරිත් අසලංක ඇ.හේ ප.ස්මිත් 0

ජනිත් ලියනගේ ඇ.(බ්‍රේස්වෙල්) ප.සැන්ට්නර් 36

චමිඳු වික්‍රමසිංහ ඇ.යංග් ප.හෙන්රි 22

වනිඳු හසරංග ඇ.සැන්ට්නර් ප.හෙන්රි 35

ඒෂාන් මාලිංග ඇ.සැන්ට්නර් ප.හෙන්රි 4

ළහිරු කුමාර නොදැවී 1

අසිත ප්‍රනාන්දු ඇ.හේ ප.ඩෆී 2

අතිරේක 8

එකතුව සියල්ලන් දැවී (ඕවර 43.4) 178

කඩුලු බිඳ වැටීම: 1-15, 2-18, 3-23, 4-23, 5-110, 6-110, 7-158, 8-175, 9-176, 10-178

පන්දු යැවීම: හෙන්රි 10-1-19-4, ඩෆී 8.4-0-39-2, ස්මිත් 8-2-43-2, ඕ’රූකී 10-1-50-0, සැන්ට්නර් 7-0-27-1.

නවසීලන්තය

විල් යංග් නොදැවී 90

රචින් රවින්ද්‍ර ඇ.වනිඳු ප.වික්‍රමසිංහ 45

මාර්ක් චැප්මන් නොදැවී 29

අතිරේක 16

එකතුව කඩුල්ලක් දැවී (ඕවර 26.2) 180

කඩුලු බිඳ වැටීම: 1-93

පන්දු යැවීම: ප්‍රනාන්දු 6-0-33-0, කුමාර 6-0-48-0, මාලිංග 5-0-41-0, හසරංග 6-0-29-0, වික්‍රමසිංහ 3.2-0-28-1.