– ගොවීන්ට වගාවලින් ලාභයක් නෑ
දහදුක් විඳිමින් තමන් වගා කරන එළවළු ටික අලෙවි කිරීම සඳහා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට ප්‍රවාහනය කරන වාහනයට අධික පිවිසුම් ගාස්තුවක් අය කිරීම තමන්ට දරාගත නොහැකි බැවින් ඉතාමත් ඉක්මනින් ඊට විසඳුමක් ලබා දෙන ලෙසට ගොවීහු ආර්ථික මධ්‍යස්ථාන භාරකාර මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.
වැලිමඩ සානුවේ ගොවීන්ගේ එළවළු නිෂ්පාදන පහසුවෙන් අලෙවි කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය විසින් දැනට වසර 25කට පමණ පෙරදී කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිකර තිබිණ. මේ හේතුවෙන් ගොවීන් අතින් නිෂ්පාදිත එළවළු පහසුවෙන් අලෙවි කර ගැනීමට අවස්ථාවක් උදා විය. නමුත් එසේ රැගෙන එන එළවළු ප්‍රවාහනය කරන වාහන සඳහා පිවිසුම් පැයකට මුදල් ගාස්තුවක් අය කිරීමට අමතරව එම පැයක කාලය ගත වීමෙන් පසු අධික දඩ මුදලක් අය කරන බවත් මෙසේ එළවළු ප්‍රවාහනය කිරීමට අමතරව පිවිසුම් ගාස්තු සමඟ අදාළ දඩ මුදල ගෙවීමට ගොවියාට සිදු වන බවත් ඔවුහු පෙන්වා දෙති. ඔවුන් පවසන්නේ, ආර්ථික මධ්‍යස්ථානයේදී තම එළවළු අලෙවි කිරීමට මැදිහත් වන වෙළෙන්දන්ටත් ඒ වෙනුවෙන් කොමිස් මුදලක් ගෙවන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, වැලිමඩ ඌව පරණගම උඩරට ගොවි සම්මේලනයේ කැඳවුම්කරු ආර්.එම්. රෝහණ රාමනායක මහතා මෙසේ කියා සිටියේය. ‘වැලිමඩ ඌව පරණගම ඇතුළු වැලිමඩ සානුවේ ගොවීන් වගා කරන එළවළු අලෙවි කිරීම විවිධ තැන්වල සිදු වුණා. එයට විසඳුම් ලෙසින් දැනට වසර 25කට පමණ පෙරදී එවකට පැවැති රජයේ පාරිභෝගික හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කරනු ලැබුවා. අපේ එළවළු නිෂ්පාදන මිලට ගැනීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළෙඳුන් පැමිණෙනවා. එමඟින් ගොවීන් වන අපේ එළවළු වගා අස්වනු පහසුවෙන් අලෙවි කර ගැනීමේ අවස්ථාවක් උදා වුණා. මෙසේ ගොවීන් වෙනුවෙන් ආරම්භ කළ ආර්ථික මධ්‍යස්ථානයේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ප්‍රවාහනය කරන වාහනවලට ගාස්තු අය කිරීමේ අවස්ථාව බාහිර පුද්ගලයකුට මසකට රුපියල් ලක්ෂ 7 බැගින් ටෙන්ඩර් මඟින් ලබා දී තිබෙනවා. මෙම ටෙන්ඩර්කරු වාහන ඇතුළු කිරීමේදී අය කරන ගාස්තුව ඉතාමත් අධිකයි. එළවළු ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරන විට ආර්ථික මධ්‍යස්ථානයට පිවිසීමේ ගාස්තුව පැයකට රුපියල් 20ක්. ඉන්පසු ප්‍රමාද ගාස්තු ලෙසට පැයකට රුපියල් 30ක් අය කරනවා. ලොරියකට පැයකට රුපියල් 50ක් අය කරනවා. ප්‍රමාද වීමට රුපියල් 100ක දඩ මුදලක් අය කරනවා. මේක ගොවියාට දරාගන්න බෑ. ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු මිලට ගන්නේ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් නොවෙයි. පිට පළාත්වල සිට පැමිණෙන වෙළෙඳුන්. අපේ එළවළු මිලට ගැනීමේදී ප්‍රමාද වීම් සිදු වෙනවා. එය ගොවියාගේ වරදක් නොවේ. බාහිර වෙළෙඳුන් එළවළු මිලට ගැනීමේදී විවිධ කාරණා මත එළවළු ප්‍රවාහනය කළ රථයක් පැය 3ක්, 4ක් ප්‍රමාද වෙන අවස්ථා තිබෙනවා. එවිට ගොවියාට වාහන ප්‍රමාද ගාස්තු ලෙස විශාල මුදලක් ගෙවන්න වෙනවා. අනික එළවළු මිල පහත වැටුණු අවස්ථාවක් වුණොත් ගොවියාට තම වගාබිමේ සිට එළවළු ප්‍රවාහනය කිරීමේ ගාස්තු සමඟ ආර්ථික මධ්‍යස්ථානයෙන් අය කරන වාහන ගාස්තු ගෙවීමේදී කිසිදු මුදලක් ඉතිරි වෙන්නේ නෑ.
අප මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමේදී ආර්ථික මධ්‍යස්ථානයට දිනකට එළවළු රැගත් වාහන 1,000ක් 1,500ක් අතර ප්‍රමාණයක් පැමිණෙන බව දැනගන්නට ලැබුණා. සාමාන්‍යයෙන් දිනකට අවම වශයෙන් වාහන 1,000ක් ඇතුළු වෙනවා කියා උපකල්පනය කළොත් 50,000ක් ලැබෙනවා. ඒ අනුව මසකට රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලබනවා. මසකට රුපියල් ලක්ෂ 7කට ලබා ගත් ටෙන්ඩරයට ටෙන්ඩර්කරු රුපියල් ලක්ෂ 8ක මුදලක් ඒ හරහා උපයනවා. මෙම ප්‍රමාණයට වඩා වැඩි වාහන ප්‍රමාණයක් දිනකට ඇතුළු වන විට ටෙන්ඩර්කරුගේ ආදායම මෙයට වඩා වැඩියි. ගොවියා තම ජීවිතය ගැටගසා ගැනීමට අධික මුදලක් වැය කරමින් වගා කරන එළවළු ටික දින 90ක කාලයකට පසු අලෙවි කිරීමේදී ගොවියාට මෙවැනි බරපතළ ගැටලුවලට මුහුණ දීමට සිදු වෙනවා. එනිසා එළවළු ගොවියා මුහුණ දී සිටින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට ගොවි දුක දන්නා රජයෙන් ඉල්ලා සිටිනවා.’