නැඟෙනහිර ව්‍යාපෘති පිළිබඳ ඉන්දු-ශ්‍රී ලංකා සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයේදී ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන රුපියල් මිලියන 2,371ක ආධාර යටතේ නැඟෙනහිර ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා හා ශ්‍රී ලංකා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ලේකම් -1 (අධ්‍යාපන කටයුතු) සන්දිප් චෞද්‍රි මහතා අතර පැවැත්විණ.

ත්‍රිකුණාමලයේ පිහිටි නැඟෙනහිර ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති මෙම ද්විපාර්ශ්වික හමුවේදී නැඟෙනහිර පළාතට අධ්‍යාපන, සෞඛ්‍ය හා කෘෂිකර්ම අංශවලින් සහාය ලබාදෙන බවත් ලේකම්වරයා මෙහිදී ආණ්ඩුකාරවරයාට අවධාරණය කළේය. උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ද දෙපාර්ශ්වය අතර මෙහිදී අදහස් හුවමාරු විය.

ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර කෙරෙහි ආණ්ඩුකාරවරයා මෙහිදී සිය කෘතඥතාවය පළ කළ අතර, මෙම සාකච්ඡාවට නැඟෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, ආණ්ඩුකාර ලේකම් ජේ.එස්. අරූල් රාජ්‍ යන මහත්වරු ද එක්ව සිටියහ.