CLEAN SRI LANKA අලුත් දේශපාලන ආදර්ශයක්-වැඩසටහන අරඹමින් ජනපති අනුර දිසානායක කියයි

රාජ්‍ය සේවකයන්ටත් – පුරවැසියන්ටත් වගකීමක් වගවීමක් තියෙනවා

කාර්යසාධන බළකාය වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්

ආර්ථික ප්‍රතිලාභ ගමට ගෙනයන ක්‍රමයක් හදනවා

සමස්ත රටම ඩිජිටල්කරණයෙන් පුරවැසියා සහ රජය අතර ඍජු සම්බන්ධයක්

අනෙකා ගැන හිතන්නේ නැති තාක්කල් මේ සමාජය හදන්න අමාරුයි

පෞද්ගලික දේපොළ සුරකිනවා වගේ පොදු දේවල් රකින්නේ නෑ

ආර්ථික ගැටලුවට විසඳුම් සොයන න්‍යාය පත්‍රය මේ වසරේ ක්‍රියාත්මකයි

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කරගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රිය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, Òක්ලීන් ශ්‍රී ලංකාÓ වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (01) පැවති උත්සවයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවැසීය.

අපි විශ්වාස කරනවා 2024 අවසන් වෙලා 2025 වසරට මේ පය තබන මොහොතේ ඒ කියන්නේ නව වසරක ආරම්භය අලුත් අවුරුද්දක උදාවයි. නමුත් දශක ගණනාවක් අපේ රටේ මෙවැනි වසර උදා වූවාට අපි හොඳ දේ වෙනුවෙන් අලුත් වෙන්න සමත් වුණාද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. ගතවුණ වසරක් වසරක් පාසා අපි යහපත් දේ වෙනුවෙන් අලුත් වෙමින් ඉදිරියට ගියාද?, එහෙම නැතිනම් අයහපත් දේ වෙනුවෙන් අලුත් වෙමින් අපි අතීතයටම ගියාද? කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. ඒ නිසා අපට ස්ථිර අධිෂ්ඨානයක් තිබෙනවා. ඒ තමයි මේ උදා වූ අලුත් වසරත් සමඟ අපේ රට නව අලුත් පරිවර්තනයකට ලක් කිරීම. ඒ අභියෝගය සහ වගකීම අප සතුව තිබෙනවා.

එය ඉටුකිරීමට මාත් මගේ ඇමැති මණ්ඩලයත් නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මුළු දේශපාලන අධිකාරියම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. කැප වී සිටිනවා.

අපේ රටට මේ වසර උදාවෙන්නේ නව දේශපාලන සංස්කෘතියක ආරම්භයත් එක්ක. අපි මේ රට ගොඩනැඟීමට අවශ්‍ය පදනම සකස් කරමින් තිබෙනවා. දේශපාලන සංස්කෘතිය, නාස්තිය, පවුල්වාදය, බලය අසීමිත ලෙස ජනතාවට එරෙහිව උපයෝගී කර ගැනීම, ජනතාවට උඩින් ඉන්න දේශපාලකයෙක් නිර්මාණය වී තිබීම මේ සියල්ල අහෝසි කර ජනතාවගේ වුවමනා පෙරදැරි කර ගත් ඒ වුවමනා එක්ක පෙළ ගැසුණු නව දේශපාලන සංස්කෘතියක් අපි ආරම්භ කර තිබෙනවා. ඒ මේ නව වසරේ අභියෝග ජයගැනීම වෙනුවෙන්. පසුගිය වසර කිහිපයක් ඉතාමත් බංකොලොත් අඩියකට අපේ ආර්ථිකය කඩා වැටී තිබුණා. ආර්ථිකයේ මතුපිට තලයේ යම් ස්ථාවරභාවයක් අපි නිර්මාණය කර තිබෙනවා. පසුගිය වසරේ අවසාන භාගයේදී නිල වශයෙන් අපට බංකොලොත්භාවයෙන් මිදීමට හැකියාව ලැබුණා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් මහ බැංකුවේ අධිපති ඇතුළු නිලධාරීන් දේශපාලන අධිකාරිය විශාල වෙහෙසක් විශාල කාර්යක් ඉටු කළා. මා හිතනවා ආර්ථිකයේ මතුපිට තලයේ යම් ස්ථාවරභාවයක් අපි නිර්මාණය කර තිබෙනවා. හැබැයි මේ වසරේ එය ප්‍රමාණවත් නැහැ.

අපේ ආර්ථිකයේ ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් සෙවීමට අවශ්‍ය වන ආර්ථික න්‍යාය පත්‍රය මේ නව වසරේ අපි ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒ වගේම අපේ රට විවිධ අවස්ථාවල විවිධ පන්නයේ ආරක්ෂක තර්ජනයන්ට මුහුණ දීපු රටක්. එහෙත් අපට ඉතාමත් සතුටින් සහ ස්ථාවරව කියන්න පුළුවන් අපේ රටේ ආරක්ෂාව ඉතාම හොඳින් තහවුරු කරන්න අපි සමත් වී තිබෙනවා. ඔබට මතක ඇති පසුගිය අවුරුද්දේ ආරුගම්බේ කේන්ද්‍ර කරගෙන ප්‍රහාරයක් ගැන තොරතුරු වාර්තා වුණා. අපේ පොලීසිය, අපේ බුද්ධි සේවා, අපේ ත්‍රිවිධ හමුදාව ඉතාමත් සක්‍රිය වැඩ කොටසක් කර රටේ ආරක්ෂාව පිළිබඳව ස්ථාවරය විශ්වාසය තහවුරු කරන්න සමත් වී තිබෙනවා. ඒ වගේම අපි ක්‍රමානුකූලව නීතියේ විධානයේ ආධිපත්‍යය යළි අපේ රටේ ස්ථාපිත කිරීමට අපි ශක්තිමත්ව වැඩ ආරම්භ කර තිබෙනවා.

අපේ රටේ දීර්ඝ කාලයක් නීතියේ ආධිපත්‍යය නොසලකා හරින කාරණයක් බවට පත්වී තිබුණා. අපරාධකරුවන් නීතියේ උඩින් ඉන්නවා. දූෂිතයන් නීතියට වඩා උඩින් ඉන්නවා. දේශපාලන අධිකාරීන් තමන්ට අවශ්‍ය හිතු හිතු පරිදි නීතිය උල්ලංඝනය කරනවා. ව්‍යවස්ථාව කඩනවා. අපේ රටේ හිටපු ජනාධිපතිවරුන් අවස්ථා ගණනාවකදී ව්‍යවස්ථාවේ නීති කඩා ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දී තිබෙනවා. රටේ ඉහළම පුරවැසියා ව්‍යවස්ථාව කඩන රාජ්‍යයක නීතියේ විධානයේ ආධිපත්‍යය ගැන කවර කතාද? කියා මම ඔබගෙන් අසනවා. ඒ නිසා අපි මේ නීතියේ විධානයේ ආධිපත්‍යය යළිත් තහවුරු කිරීම සඳහා විශාල වෙහෙසක් දරමින් ඉන්නවා. අපේ රටේ රාජ්‍ය දේහයත් දේශපාලන දේහයත් මුළු සමාජයත් පුරා විශාල වශයෙන් අල්ලස, දූෂණය, වංචාව හා නාස්තිය පැතිරී තිබෙනවා. එය අපේ රටේ මුළු රාජ්‍යය පුරා පිළිකාවක් වගේ පැතිරිලා තිබෙනවා. අපට විශාල වෙහෙසක් දැරිය යුතුයි මේ දූෂණය හා වංචාව නතර කරන්න. මා හිතනවා එහිදී අපේ රටේ නීතිපති දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් තිබෙනවා.

මා හිතනවා නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා තමන්ට පැවරී තිබෙන කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය වන සහාය ලබා දෙයි කියලා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අධිකරණ පද්ධතියට යළි අපේ රට දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍යයක් බවට පත් කිරීමේ ප්‍රධානම නියමු කාර්යභාරයක් තිබෙනවා.

ඔවුන් මේ සඳහා කැපවී කටයුතු කරනු ඇතැයි කියන විශ්වාසය අපට තිබෙනවා. මොකද දේශපාලන අධිකාරිය වන අපි ආදර්ශයෙනුත් ක්‍රියාවෙනුත් මේ දූෂණය නතර කරන්නත්, වංචාව නතර කරන්නත් අපි ආදර්ශය සපයනවා. හැබැයි දේශපාලන අධිකාරියේ ආදර්ශය සහ මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට අදාළ වන රාජ්‍ය ආයතන තමන්ට පැවරී තිබෙන වගකීම් නිසි පරිදි තේරුම් අරගෙන ඒ වෙනස්වීමට දායකත්වය සහාය දුන්නේ නැත්නම්. ඒ නිසා මා ඒ අදාළ ආයතනයන්ගෙන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා අපට ඒ අවශ්‍ය වන සහාය අවශ්‍යයි. මොකද ඕනෑම ශක්තිමත් ගොඩනැඟිල්ලක් ගොඩනඟන්න, ඕනෑම ශක්තිමත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න ඉතාමත් ශක්තිමත් පදනමක් අවශ්‍යයි අත්තිවාරමක් අවශ්‍යයි. අපේ ජාතිය අපේ රට අත්තිවාරම අහිමි වූ රටක්. පදනම් අහිමි වූ රටක්. ඒ නිසා අපේ මූලික ප්‍රවේශය අපි සැලකිය යුතු ප්‍රමාණයෙන් සාර්ථකව නිමා කරමින් තිබෙනවා. මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය වන අත්තිවාරම, පදනම අපි සකස් කර තිබෙනවා. දේශපාලන අධිකාරිය රාජ්‍ය යන්ත්‍රණය නීතියේ විධානයේ ආධිපත්‍යය, ව්‍යවස්ථාවට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම, වංචාව දූෂණය අල්ලස පිටුදැකීම, මේ අත්තිවාරම අපිට අවශ්‍යයි මේ රට ඉදිරියට ගෙනයන්න.අපි ඉතාමත් වේගයෙන් සැලසුම් සහගතව මේ අත්තිවාරම ගොඩනඟාගෙන යනවා. අපේ පුරවැසියන්ට ඒ ගොඩනැඟී තිබෙන අත්තිවාරම මත ගොඩනැඟෙන මහා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා යා යුතුයි. ඒ නිසා අපි අපේ රාජ්‍යය, අපි ප්‍රධාන ව්‍යාපෘති තුනක්, ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගෙන මෙහෙයවනවා. ඒ ප්‍රධාන එක අරමුණක් තමයි අපේ රටත් අපේ රටේ පුරවැසියන්වත් මුදා ගැනීම.

ගමේ ජනතාව දක්වා ආර්ථිකයේ ප්‍රතිලාභ ගලා ගෙන යෑමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සකස් කිරීම, ආර්ථිකය ඉතා කුඩා කණ්ඩායමක් මත සංකේන්ද්‍රණය වී තිබීම සමාජයකට කවදාවත් ස්ථාවරත්වයක් ගෙනත් දෙන්නේ නැහැ. ආර්ථිකය කුඩා කණ්ඩායමක් මත ඒකරාශී වී තිබීම රටකත් ජනතාවගේත් අස්ථාවරත්වය නිර්මාණය කරනවා. ඒ නිසා ආර්ථිකයේ ස්ථාවරත්වය නිර්මාණය කරන්න නම් එහි ග්‍රාමීය ජනතාව දක්වා ආර්ථිකය ප්‍රතිලාභ ගලා ගෙන යා යුතුයි. ඒ නිසා අපි එළඹෙන අයවැය ලේඛනයෙන් අපේ රටේ දුප්පත්භාවය තුරන් කිරීම ඉලක්ක කරගත් දිශාවකට මෙහෙයවන ආර්ථික වැඩපිළිවෙළක ආරම්භය බවට පත්කරන්න සූදානම්. අපේ දෙවැනි ඉලක්කය අපි මේ රට ඩිජිටල් කරන එකට භාජනය කළයුතුයි. කාර්යක්ෂමතා, නාස්තිය අවම කිරීම වංචා දූෂණ අවම කිරීම පුරවැසියන්ට ඉතාමත් පහසුවෙන් රාජ්‍ය හා තමන් අතර තිබෙන බැඳීම සක්‍රියව ඉටු කර ගැනීම සඳහා ඩිජිටල්කරණයක් අවශ්‍ය වන පදනමක් අපි නිර්මාණය කරනවා. ඊළඟ අපේ ප්‍රධාන වැඩ කටයුත්ත තමයි Clean Sri Lanka ව්‍යාපෘතිය. මෙය සාමාන්‍යයෙන් පරිසර පද්ධතිය පිරිසුදු කිරීම පිළිබඳව පමණක් නොවෙයි. මෙය සමස්ත ගරා වැටුණු, දිරාපත් වුණු මේ සමාජ දේහය මේ අසරණභාවයට පත් වුණු අපේ මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම අංශයක් විසින්ම සිදු කරන පිරිසුදුභාවයක් ඇති කිරීම තමයි අපේ අපේක්ෂාව.

මා ඔබට කරුණු කිහිපයක් පෙන්නුම් කරන්නම් ඒ මොන තරම් වැදගත් ක්ෂේත්‍රයක්ද කියා ඔබ තේරුම් ගනීවි. අපේ රටේ ඉතාමත් අලංකාරයෙන් යුතු පරිසර පද්ධතියක් තිබෙනවා. අපේ රටේ ඉතා වැදගත් පිහිටීමක් තිබෙනවා. ඕනෑම විදේශිකයෙක් අපි හමුවුණාම ඔවුන් කියන්නේ ලස්සන ශ්‍රී ලංකාවක් ඔබට තිබෙනවා කියලයි. එහෙත් මේ ශ්‍රී ලංකාවේ අද මොකක්ද වී තිබෙන්නේ? මේ යහපත් පරිසර පද්ධතියක් තිබෙන රට ඇතුළේ 2023 වසරේ අලි මිනිස් ගැටුමින් මිනිසුන් එකසිය අසූ එකක් මරා දමා තිබෙනවා. 2023 වසරේ මිනිසුන් විසින් අලි 484ක් ඝාතනය කර තිබෙනවා. හොඳ සෞන්දර්යාත්මක අලංකාරයෙන් යුතු පරිසර පද්ධතියක් තිබුණත් වසරකට අලි 484ක් මිය යන රටක් අපට තිබෙන්නේ. අලි විසින් මිනිස්සු ඝාතනය කර තිබෙනවා 182ක්. ඒ වගේම ගංවතුර නායයෑම්වලින් විශාල ප්‍රමාණයක් අවතැන් වෙනවා ජීවිත හානි වෙනවා. ආර්ථිකය විශාල සෝදාපාළුවකට ලක්වෙනවා. ඒ නිසා අපි යළි මේ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම Clean Sri Lanka වැඩසටහනෙන් එක් ප්‍රධානම වැඩ කොටසක් ලෙස අප සලකන්න ඕනෑ.

අපේ රටට, අපේ රටේ පුරවැසියන්ට අවශ්‍යයි නව වටිනාකම්. නව හර පද්ධතියක් අවශ්‍යයි. අපි ඉතාමත් වැරදි දේ වටිනාකම් ලෙස තේරුම් අරන් තිබෙනවා. ඉතාමත් වැරදි දේ සමාජයේ මූලික හර පද්ධති ලෙස තේරුම් අරන් තිබෙනවා. අද අපට අවශ්‍යයි මේ සමාජයට අලුත් වටිනාකම් පද්ධතියක් නිර්මාණය කිරීමට. කොතැනින්ද පටන් ගන්නේ? පළමු කොටම තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳව වටිනාකමක් අවශ්‍යයි. මා හිතනවා අපේ රටේ බොහෝ පුරවැසියන්ට තමන්ට තමන්ගේ ජීවිතය ගැන වටිනාකමක් නැහැ කියලා. ඇයි මම එහෙම කියන්නේ? ගිය වසරේ පන්සිය අනූපහක් මිය ගොස් තිබෙනවා. එක්කෝ මුහුදේ එක්කෝ ජලාශවල එක්කෝ ළිඳක එක්කෝ පොකුණක. මිනිසුන් පන්සිය අනූපහක් ජලයේ ගිලීම නිසා මියගොස් තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? වාහන අනතුරුවලින් ගිය වසරේ 2321ක් මියගොස් තිබෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් දවසකට හත් දෙනෙක් වාහන අනතුරු නිසා මිය යන රටක් නිර්මාණය වී තිබෙනවා.

ඒ කියන්නේ මොකක්ද? තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනාකම් පිළිබඳ අදහසක් නැති සමාජයක්. අනෙකාගේ ජීවිතය පිළිබඳ සහකම්පනයක් නැති සමාජයක්. අනෙකා ගැන කල්පනා කරන්නේ නැති සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා මේ සමාජය යළි සුවපත් කළයුතුයි. මේ සමාජයට නව හර පද්ධතියක් නව වටිනාකම් පද්ධතියක් එකතු කළයුතුයි. අපේ Clean Sri Lanka වැඩසටහන යටතේ මේ සමාජයට නව හර පද්ධතියක්, නව වටිනාකම් පද්ධතියක් අපි එකතු කරනවා. වාහන අනතුරු අවම කළ යුතුයි. ඒ සඳහා මා පළමු කොටම නීතිය කෙරෙහි නෙමෙයි විශ්වාසය තබන්නේ, පුරවැසියන් කෙරෙහියි. පුරවැසියන්ගේ දායකත්වය මැදිහත්වීම ඒ සඳහා අවශ්‍යයි. ඔවුන් එසේ නොකරන්නේ නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්තියි. අපි ඉතාමත් හොඳ සුනම්‍ය ලෙස, මේ හැරවුම ගන්න අපි සූදානම්. හැබැයි සුනම්‍ය ලෙස නම්‍යතාවෙන් මේ හැරවුම ගන්න කවර හෝ කෙනෙක් බාධා කරනවා නම් දෘඪ ලෙස දැඩි ලෙස මේ හැරවුම ගන්න අපි සූදානම්. මේ සමාජය යළි සුවපත් කිරීමට. ඒ වගේම අපේ රටේ පුරවැසියන්ට තමන් වෙළෙඳපොළෙන් මිල දී ගන්නා ආහාරවේලක් පිළිබඳ විශ්වාසයක් තිබෙනවද? ඒ නිසා අපේ රටේ පුරවැසියන්ට වස-විසවලින් තොර ආහාර වේලක් ලබාදීමේ වගකීම රාජ්‍යයක් ලෙස අපට තිබෙනවා.

ඒ වගකීම ඉටුකිරීම මේ Clean Sri Lanka වැඩසටහනේ ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම සමාජයක් විසින් අපේ පුරවැසියන්, අපේ රටේ ආබාධිත ප්‍රජාවන් බලා ගත යුතුයි. එය සමාජයේ යුක්තිය පිළිබඳ ප්‍රශ්නයක්. අපට ඔවුන් වැඩිහිටිභාවයට පත් වූ හේතුව මත සමාජයෙන් කොන් කිරීමට භාජනය කළ හැකිද? ඔවුන් ආබාධිත වූ නිසා ඔවුන් සමාජයේ සම-පංගුකරුවෙක් වෙනවා වෙනුවට සමාජයෙන් පිටමං කරන කෙනෙක් බවට පත් කළ හැකිද? එහෙම සමාජයක් කවදාවත් යහපත් සමාජයක් බවට පත් වෙන්නේ නැහැ. තමන්ගේ ආසන්නයේ ඉන්න ආබාධිත ප්‍රජාව, තමන්ගේ ආසන්නයේ ඉන්න වැඩිහිටියන් තමන්ගේ ආසන්නයේ ඉන්න කාන්තාව, තරුණිය, ඇය පිළිබඳව සහකම්පනයක් නැත්නම්, මේ ප්‍රජාවම පිළිබඳ ආදරයක් ළෙන්ගතුකමක් රැක බලා ගැනීමක් පිළිබඳව අවධානයක් නැතිනම් ඒ සමාජය යහපත් සමාජයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ සමාජය සැලකිය යුතු ප්‍රමාණයකින් අනෙකා ගැන නොහිතන කුරිරු හිත් ඇති සමාජයක්. ඒ නිසා අපි සමාජයේ අලුත් ආකල්ප පද්ධතියක් නිර්මාණය කළ යුතුයි. ඒ වගේමයි පොදු දේපළ ආරක්ෂා කිරීම. අපේ රටේ දීර්ඝ කාලයක් පොදු දේපළ පිළිබඳ පුරවැසියන්ගේ ඉතාමත් යහපත් ආකල්පයක් තිබුණා. හැබැයි අද සිදු වී තිබෙන දේ තමයි තමන්ගේ පෞද්ගලික දේපළක් ආරක්ෂා කරන ලෙස සමාජය සතු ජාතික වත්කම් ජාතික දේපළ ආරක්ෂා කරන්නේ නැහැ. තමන්ගේ දේපළක තිබෙන වටිනාකම පිළිබඳ හැඟීමකින් පොදු දේපළ පිළිබඳව කටයුතු කරන්නේ නැහැ. රාජ්‍යයක් නිර්මාණය කරන්න නම් එහි ජාතික වත්කම් පිළිබඳ හැම කෙනාටම හැඟීමක් අවශ්‍යයි. එය ආරක්ෂා කිරීම පිළිබඳව එය තමන්ට පමණක් නොවෙයි. මේ සියල්ල අයිති මේ වෙලාවේ ජීවත්වන අපේ පරම්පරාවට විතරද? අපේ පරම්පරාවට මේ සියල්ල විනාශ කර මිය යා හැකිද? මේ පරම්පරාවේ වගකීම තමයි අනාගත පරම්පරාව වෙනුවෙන් මේවා ආරක්ෂා කර තිබීම. ඒ නිසා ඒ වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඇතුළේ අපි ක්‍රියාත්මක වෙන්න සූදානම්. ඒ වගේම අපි දන්නවා රාජ්‍ය යන්ත්‍රණය හා දේශපාලන අධිකාරිය ඉතාමත් වේගවත් කාර්යක්ෂමතාවකට ගෙන යා යුතුයි. හැම පුරවැසියාම තමන්ට පැවරී තිබෙන වගකීමට වග විය යුතුයි. වගකීම පැහැර හරින්නේ නම්, තමන්ගේ වගකීමේ බර දේහය කඩා වැටෙනවා. ඒ නිසා මේ දේහය ශක්තිමත් වී තිබෙන්නේ, මේ දේහය ගොඩනැඟී තිබෙන්නේ විවිධ රාජ්‍ය දේශපාලන පෞද්ගලික අංශය යන ව්‍යුහයන් මත තමයි මේ දේහය ගොඩනැඟී තිබෙන්නේ. ඒ දේහයේ ඉන්න සාමාජිකයන් තමන්ට පැවරී තිබෙන වගකීම ඉටු කරන්නේ නැතිනම් ඒ වගකීම අත්හරිනවා නම් ඒ වගකීම නොසලකා හරිනවා නම් එය දේහයටම විශාල හානිකර තත්ත්වයක් නිර්මාණය කරනවා.

ඒ නිසා අපි, රාජ්‍ය සේවයෙන් ඉල්ලා සිටිනවා, ඔබ ඔබගේ වගකීමට වග වෙන්න සූදානම් වෙන්න. ඒ සඳහා ආදර්ශ ඕනෑ තරම් අද ඉදිරිපත් වී තිබෙනවා. අද අපේ ආණ්ඩුවෙන් ලංකාවේ ආර්ථිකමය වශයෙන් සහ ආරක්ෂාව පැත්තෙන් ගත්තාම ඉතාමත් වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් මෙහෙයවන ආයතන තිබෙනවා. ඒ ආයතනවල විශාල ප්‍රමාණයක් එහි සභාපතිවරුන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. ශ්‍රීලන්කන් එයාලයින් සභාපති, ටෙලිකොම් සභාපති, ෆෝට් සිටි සභාපති, ආයෝජන මණ්ඩලයේ සභාපති, ගෑස් සමාගමේ සභාපති මේ ආදී විශාල ප්‍රමාණයක් ඉතාමත් වෘත්තීමය හැකියා තිබෙන දක්ෂතාවන් තිබෙන පිරිස් අද අපේ ආයතනවල ස්වේච්ඡාවෙන් වැඩ කරන තැනට ඇවිත් තිබෙනවා. පෞද්ගලිකව ගත්තොත් මගේ උපදේශකවරු තුන්දෙනෙක් පත් කර තිබෙනවා. ඒ උපදේශකවරු තිදෙනාම රජයෙන් රුපියලකවත් වැටුපක් නොගෙන වැඩ කරනවා. ඩිජිටල්කරණය පිළිබඳව අත්දැකීම් තිබෙන ලංකාවෙන් බිහිවුණු ශ්‍රේෂ්ඨතම විද්වතා ඔහු, ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. විද්‍යා හා පර්යේෂණ පිළිබඳව ඇමරිකන් විශ්වවිද්‍යාලයක වැඩ කරල, ඒ ක්ෂේත්‍රය පිළිබඳව පර්යේෂණ ගණනාවක් කර තිබෙනවා. ස්වේච්ඡාවෙන් වැඩ කරනවා.

තමන්ගේ දැනුම, තමන්ගේ කාලය, තමන්ගේ ශ්‍රමය, තමන්ගේ ඉහළ රැකියා අත්හැරලා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න පටන් අරන් තිබෙනවා.

පසුගිය විසි වන සියවස විතරක් අපි කල්පනා කළොත් මේ ආසියාවේ පිහිටි රාජ්‍යයන් විශාල ප්‍රමාණයක් මේ සාමූහිකත්වය පණිවිඩය මත නැඟිටලා තිබෙනවා. හැබැයි අපි මොකක්ද කර තිබෙන්නේ? ඇනකොටා ගැනීම එකිනෙකා අතර අවිශ්වාසය නිර්මාණය කර ගැනීම ජාතිවාදී ආගම්වාදී ඉතාමත් කැත පන්නයේ දේශපාලන සූදුවකට අපේ පොදු සමාජය යටපත් කිරීම, එකිනෙකා අතර අවිශ්වාසය ක්‍රෝධය වෛරය වර්ධනය කරන පාලන තිබිලා තිබෙනවා. කවදාවත් ජනතාව එකට නැඟිටින්න සූදානම් නැත්නම් මේ අභියෝගයෙන් අපට ගොඩ එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපට අවස්ථාව ඇවිත් තිබෙනවා. අපට එකට නැඟිටින්න අවස්ථාව ඇවිත් තිබෙනවා. සියලු බෙදීම් අපි අවසන් කරන්න සූදානම්. අපි එකම ශ්‍රී ලංකාවේ ඉපදුණ මිනිසුන් හැටියට මේ රට ගොඩනැඟීමට එක්සත්ව එක්සිත්ව එකතු කරන්න අපි සූදානම්.

රජයේ යන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ සඳහා මේ වන විටත් දහ අට දෙනකුගෙන් යුත් දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්යසාධක බළකායක් පත් කර තිබෙනවා. මම ඔබට කියන්න කැමතියි හැමදෙනාම ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. ඒ වගේම අපි මේ සඳහාම ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයක් ගොඩනඟන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ජනතාව ඒකරාශී කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා සභා ගොඩනැඟීමට අපේක්ෂා කරනවා ගම දක්වාම.

මෙහි අවසානය කවදාද? මේ ව්‍යාපෘතිය අවසන් වන ව්‍යාපෘතියක් නොවෙයි. එය නැවත නැවත අලුත් වන, නැවත නැවත ලෝකයේ ඇති වන අලුත් තත්ත්වයන්ට අනුරූප වන පරිදි රාජ්‍යය ප්‍රතිස්ථාපනය කරන සමාජයක නඟාසිටුවන වැඩසටහනක්. මේක අවුරුද්දක දෙකක ව්‍යාපෘතියක් නොවෙයි. ව්‍යාපෘතියක් නම් මේක එක තැනක නතර වෙන ලෝකෙට ඒකාබද්ධ කරන්න පුළුවන්.

ලෝකය වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ලෝකය විශාල ජයග්‍රහණ අත්පත් කර ගනිමින් තිබෙනවා. සමාජමය ආකල්ප, නව වටිනාකම් නව හර පද්ධතීන් නිරන්තරයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. අන්න ඒ හැම දෙයක්ම උකහා ගත්තු නව ශ්‍රී ලාංකේය ජාතියක් මේ රටේ ගොඩනඟනවා. අන්න ඒ වෙනුවෙන් මේ දරන ප්‍රයත්නයට අපි වෙනම අරමුදලක් පිහිටුවනවා. ඒ අරමුදල සඳහා මේ රටේ පුරවැසියන්ට දායකත්වය සපයන්න පුළුවන්. අපි මුදල් අමාත්‍යංශයෙන් අධීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ නිසා මේ කාර්යය අපි සාමූහික ප්‍රයත්නයකින් ජයග්‍රහණය කළ යුතු කාර්යයක්. ඒ වෙනුවෙන් සියලු දෙනාට එක් වෙන්න කියා ආරාධනා කරමින් මේ සියල්ල අපට ඉතා යහපත්ව ඉටු කරන්න පුළුවන් මේ අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවි.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට පරිත්‍යාගශීලින් විසින් අරමුදල් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය. මෙහිදී “ක්ලීන් ශ්‍රී ලංකා” නව වෙබ් අඩවිය www.cleansrilanka.gov.lk ද එළි දැක්වීය.

මහා සංඝරත්නය, ආගමික පූජකවරුන්, මැති ඇමැතිවරු, තානාපතිවරු, ක්‍රීඩකයන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජිතයන්ද, රාජ්‍ය නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.