බෙන්තොට පාලමේ අත්වැට අනතුරකට අත වනයි

කොළඹ -ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට පාලමේ මගී ආරක්ෂක අත්වැටවල් කලක පටන් අබලන් වී පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මෙයින් කොළඹ දෙසට යන විට වම් පැත්තේ ඇති අත්වැට, එහි කොන්ක්‍රීට් ආධාරක කොටස් බොහොමයක් කැඩී යාමෙන් බෙහෙවින් අබලන්ව ඉතා අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති අයුරු දැකගත හැකිය.

දෙස් විදෙස් සංචාරකයන් මෙන්ම, මෙම පාලමේ මගී ගමන් තීරුවේ ගමන් ගන්නා පිරිස් පාලමේ අත්වැටට හේත්තු වී පාලමට යටින් ගලා බසින බෙන්තර ගඟ ඇතුළු අවට සිරි නැරඹීමට පුරුදු වී සිටින අතර මෙම අත්වැට අබලන්වී තිබීම හේතුවෙන් ඉතා අනතුරුදායක තත්ත්වයක් පවතින බව ද ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් ඉකුත් දා බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද සාකච්ඡාවට ලක්වූ අතර ජනවාරි මාසයේදී මෙය අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල විධායක ඉංජිනේරු දිමුත් පරණවිතාන මහතා එහිදී පොරොන්දු විය.