රටේ අභිමානය විදහා දැක්වෙන ආකාරයෙන් උත්කර්ෂවත්ව හා අඩු වියදමකින් 77 වැනි නිදහස් දින උත්සවය මෙවර පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
මෙවර නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත වන අතර ජනතාවට උලෙළ නැරඹීමට අවස්ථාව හිමිකර දීමට පියවර ගන්නා බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේදී නිදහස් දින උලෙළ සම්බන්ධ පූර්ව සාකච්ඡාවේදී ඊයේ (30) අනාවරණය කෙරිණි.
නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ වෙනදා නිදහස් දින උත්සවය පවත්වන කොටස වෙනුවට ජනතාවට නැරඹීමට පහසුවන ආකාරයෙන් ගමනාගමනයට බාධාවක් නොවන ආකාරයෙන් උද්‍යානය පෙදෙසේ මෙවර නිදහස් උත්සවය පැවැත්වීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී තිබේ.
මෙවර නිදහස් උත්සවය සඳහා 1600ක් පමණ ආරාධිතයන් සහභාගි වීමට නියමිත වන අතර උපරිම පැය එකහමාරක කාලයකින් අවසන් කිරීමට අපේක්ෂා කරයි.
මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ඒ. එච්. එන්.එච්. අබේරත්න මහතා මෙසේද කීය.
77 වැනි නිදහස් උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මීට කලින් අපි කැබිනට් අනුකමිටුවේදී සාකච්ඡාවක් පැවැත්වුවා. අපේ ඉලක්කය සහ අරමුණ වන්නේ රටේ අභිමානය ආරක්ෂා වන පරිදි අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව මේ නිදහස් උලෙළ පැවැත්වීමටයි. රටක් හැටියට ආර්ථික වශයෙන් බිඳ වැටුණු මට්ටමක ඉන්න නිසාම හැකිතාක් වියදම් අවම කරගෙන නිදහස් උත්සවය අභිමානවත්ව පවත්වන්නේ කොහොමද කියන කාරණය ගැන මෙහිදී අවධානය යොමුවිය යුතුයි.
පසුගිය අවුරුද්දේ මිලියන 108ක් පමණ වියදමක් නිදහස් උත්සවය වෙනුවෙන් අමාත්‍යාංශය පමණක් වියදම් කර තිබෙනවා. රටේ ආර්ථිකයට අදාළව වැඩිකමයි ගැටලුව. එහෙම නැතිව ඒ තිබුණු අංග එකක්වත් අනවශ්‍ය දේවල් නොවෙයි.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා-
නිදහසේ ගාම්භීරත්වය පෙන්වමින් සහ වියදම් අඩුවෙන් කරන්නේ කොහොමද කියා මෙවර සලකා බැලෙනවා. අවුරුදු ගාණක් සම්ප්‍රදායානුකූලව නිදහස් උලෙළ පැවැත්වෙනවා අපි දැක තිබෙනවා. නිදහස් දිනය කියන්නේ හැම රටක්ම ගාම්භීරව අභිමානවත්ව පවත්වන දෙයක්. ත්‍රිවිධ හමුදාවේ සහභාගිත්වය, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් ආරක්ෂක අංශවල සහභාගිත්වය අවශ්‍යයි. සහභාගිත්වය හරි විදිහට පෙන්නුම් කරගෙන යන්නේ කොහොමද කියන එකයි අපි බලන්න ඕනෑ. ජනාධිපති ආචාර සම්මාන ප්රදානය කිරීමේ සංයුතිය ත්‍රිවිධ හමුදාවේම සංයුතියක් විදිහට තිබුණොත් හොඳයි කියන එකයි මගේ යෝජනාව. සේනාධිනායකයා ජනාධිපති නිසා ත්‍රිවිධ හමුදාවම ආචාර්ය පෙළපාළියට සහභාගිවීම සම්ප්රදායයි.
මෙච්චර කාලයක් දැක තිබෙන්නේ හමුදා තුනේ සෑම අංශයක්ම ප්‍රදර්ශනය කිරීමයි. ඒක අපි අඩු කළොත් හොඳයි. ත්‍රිවිධ හමුදාවේ හරස්කඩක් පෙන්නුම් කරන එක හොඳයි. රථ පෙළපාළි සහ අවි ආයුධ වෙනුවට පිරිස් බලය පෙන්නුම් කරගෙන හමුදා තුනම සහභාගි වන ආකාරයට නිදහස් දින උලෙළ පැවැත්වීමෙන් සෑහෙන ප්‍රමාණයක් කාලය සහ වියදම වගේම මිනිස් ශ්‍රමය අඩුවෙනවා.
සාමාන්‍ය ජනතාවටත් සහභාගී විය හැකි ආකාරයකින් වී.අයි.පී කියන දේ නැති කර සාමාන්‍ය ජනතාවටත් සහභාගිවීමට හැකි ආකාරයෙන් නිදහස් උත්සවය පවත්වනවා. ඒ සඳහා පොලීසියේ සහයෝගය අවශ්‍යයි.
නිල රථ පෙළපාළියක් යන්නේ නැති නිසා ගාම්භීරත්වය මතු කරන විදියට වැඩසටහනක් සකස් කිරීම යුද හමුදාව මඟින් සිදු කරනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා ද මෙහිදී අදහස් දැක්වීය.