පසුගිය 2023 වසර අවසාන භාගය වන විට ඖෂධ නියාමන අධිකාරිය මුහුණ පා තිබුණු තත්ත්වයත් සමඟ සලකා බලන විට මේ වන විට ඉතා සතුටුදායක දියුණුවක් ලබා ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන කරනු ලැබූ මේ සාකච්ඡාවේදී ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම ප්‍රධාන අරමුණ විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා:
“ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැවරෙන ප්‍රධාන වගකීමෙ වෙන්නේ ජනතාවට සුරක්ෂිතභාවයෙන් යුතු ඖෂධ සැපයීමයි. එ සම්බන්ධයෙන් කෙරෙන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ගෙන එන සෑම ඖෂධයක්ම ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියක් සහිතව ගෙන ඒම අවශ්‍ය වෙනවා. රජයේ රෝහල් අංශයට වෙන්නත් පුළුවන්. පෞද්ගලික රෝහල් අංශයට වෙන්නත් පුළුවන්. එහෙම නැතිව ඒ අනුමැතිය නැතිව නීතිමය ලෙස ඖෂධයක් ගෙනෙන්න බැහැ. මේ අනුමැතිය දීමේදී අනුගමනය කරන ප්‍රධානතම ක්‍රමවේදය තමයි ඖෂධ ලියාපදිංචි කිරීම. ඖෂධයක් ගෙන ඒමට කලින් ඒ ඖෂධය ලියාපදිංචි කළ යුතුයි. ඒ ලියාපදිංචියේදී ප්‍රධාන වශයෙන්ම අපි බලන්නෙ ඒ ඖෂධයේ තත්ත්වය, ගුණාත්මකභාවය, සුරක්ෂිතභාවය පිළිබඳව සහතික කිරීමයි. ඒ සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් කරනවා.
“ඒ ඇගයීම සඳහා පුහුණු කරපු නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍ය අවස්ථාවලදී සම්බන්ධ කරගෙන ඇගයීමක් කරනවා. ඇගයීම කරලා අනුමත කිරීම දෙන්නෙත් ඒ සඳහා සමන්විත වූ කමිටුවකිනුයි. එහෙමත් නැත් නම් තනි පුද්ගලයකු විසින් නොවෙයි. ඒ දේවල් අප කරගෙන යන්නෙ නිසි වගකීමක් ඇතිව ඒ ක්‍රියාමාර්ගය සිදු කිරීම සඳහායි. 2023 වසර අවසාන භාගය වන විට ඖෂධ සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තිබුණා. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ වැඩපිළිවෙළ සම්බන්ධවද විශාල ප්‍රශ්න රාශියක්ද ජනතාව ඉදිරියේ තිබුණා. ඖෂධ නියාමන අධිකාරිය ඒ වන විට විශාල අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තිබුණා කියන්න පුළුවන්. එක පැත්තකින් විශාල වශයෙන් ලියාපදිංචි කළ යුතු ඖෂධ ලිපි ගොනු වශයෙන් එකතු වෙලා තිබුණා.
“අලුතෙන් එකතු වුණ අයදුම්පත් එකතු වෙලා තිබුණා. ඒ දේවල් නිසි ඇගයීමකින් තොරවයි සිදු වී තිබුණෙ. දැන් ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම නවත්වලා ඖෂධ ලියාපදිංචිය නැවත දිය යුතු ඖෂධ සම්බන්ධයෙන් ඒ දේවල් ඉවර කරලා නව ඖෂධ සඳහා ලියාපදිංචිය දීමට කරගෙන යන වැඩපිළිවෙළත් ඉතා ඉක්මනින් කරගෙන යනවා.”