ආදායම් වාර්තා නොදුන් අපේක්ෂකයන් 03ක් ඇතුළු 13කට විමර්ශන-රනිල්ගේ නම දුන් සොහොයුරු චන්නත් වාර්තා දී නෑ

නිසි ලෙස ආදායම් වියදම් ඉදිරිපත් නොකළ ජනාධිපති අපේක්ෂකයන් තිදෙනකු, පක්ෂ ලේකම්වරු පහක් ඇතුළු 13 දෙනකුට එරෙහිව මැතිවරණ නියාමන පනතේ විධිවිධාන අනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මඟින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව මඟින් පොලිස්පතිවරයාට යොමු කර ඇති පැමිණිල්ලකට අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මෙසේ විමර්ශන ආරම්භ කර ඇති ජනපති අපේක්ෂකයන් වන්නේ පාක්‍ය සෙල්වම් අරියනේත්තිරම්, බත්තරමුල්ලේ සීලරතන හිමි සහ සරත් කීර්තිරත්ත යන අය බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශ තොරතුරු සඳහන් කළේය.

අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා ජනපති අපේක්ෂකයකු ලෙස නම් කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ මහලේකම් ආරියවංශ දිසානායක, ජයන්දීස වීරසිංහ මුදියන්සේලාගේ ජනක ප්‍රියන්ත කුමාර රත්නායක ජනපති අපේක්ෂකයකු ලෙස නම් කළ එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ලේකම් සරච්චන්ද්‍ර වීරවර්ධන, රාජපක්ෂ ආරච්චිලාගේ නාමල් අජිත් රාජපක්ෂ ජනපති අපේක්ෂකයකු ලෙස නම් කළ සමබිම පක්ෂ ලේකම් දීප්ති කුමාර ගුණරත්න, බත්තරමුල්ලේ සීලරතන හිමි ජනාධිපති අපේක්ෂකයකු ලෙස නම් කළ එම පක්ෂයේ මහලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමි, අබුබකර් මොහොමඩ් ඉන්ෆාස් ජනාධිපති අපේක්ෂකයකු ලෙස නම් කළ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ ලේකම් ඉසෙඩ් එම්. හිතායතුල්ලා යන පක්ෂ ලේකම්වරුන් 05 දෙනකු සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ක්‍රියාත්මකය.

මේ හැරුණු කොට ස්වාධීන ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ ජනපති අපේක්ෂකයන් 05 දෙනකු ජනාධිපති අපේක්ෂකයන් ලෙස නම් කළ ඡන්ද දායකයන් 05 දෙනකු ද සිය ආදායම් වියදම් දී නැති බැවින් ඒ අය සම්බන්ධයෙන් ද විමර්ශන වංචා විමර්ශන කාර්යාංශය ආරම්භ කර තිබේ. ජනාධිපති අපේක්ෂකයකු ලෙස බී. ඇන්ටනී වික්ටර් පෙරේරා මහතා නම් කළ ඡන්ද හිමියා වන හේරත් මුදියන්සේලාගේ අසිත බණ්ඩාර ජනාධිපති අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ නම් කළ ඡන්ද හිමියා වන චන්න ලලිත් වික්‍රමසිංහ, ජනපති අපේක්ෂක ලෙස කලංදුගොඩ කංකානම්ගේ පියදාස නම් කළ ඡන්ද හිමියා වන අර්චනා රණතුංග, ජනාධිපති අපේක්ෂකයකු ලෙස සරත් කීර්තිරත්න නම් කළ ඡන්ද හිමියා සරත් අතුකෝරාල, ජනාධිපති අපේක්ෂකයකු ලෙස පාක්කීය සෙල්වම් අරියනේත්තිරම් නම් කළ ඡන්ද හිමියා වන තවචෙල්වම් සිට්පරම් යන අය එසේ විමර්ශනයට මේ වන විට ලක්වෙමින් ඇත. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් 35 දෙනකු පසුගිය ඔක්තෝබර් 13 වැනිදාට පෙර සිය ආදායම් වියදම් වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබිණි. අපේක්ෂකයන් තිදෙනකු සහ අපේක්ෂකයන් 10 දෙනකු නම් කළ පක්ෂ ලේකම්වරුන් ඇතුළු ඡන්ද දායකයන් 10 දෙනකු සිය ආදායම් වියදම් වාර්තා දී තිබුණේ නැත.

මැතිවරණ පනතට අනුව නිසි ලෙස සිය ආදායම් වියදම් දී නැති මේ අය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මඟින් කළ පැමිණිල්ලකට අනුව වංචා විමර්ශන කාර්යාංශය මඟින් විමර්ශන ආරම්භ කරනු ලබන්නේ එම පැමිණිල්ල සටහන් කර ගනිමින් පසුගිය 02 වැනිදා සිටය. ඒ අනුව එක් ජනාධිපති අපේක්ෂකයකු, පක්ෂ ලේකම්වරු දෙදෙනකු සහ ජනාධිපති අපේක්ෂකයන් නම් කළ ඡන්ද හිමියන් සිවුදෙනකු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ද පසුගිය 13 වැනිදා කරුණු ඉදිරිපත් කර තිබිණි.

ඒ හැරුණු කොට ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනකු, පක්ෂ ලේකම්වරු තිදෙනකු සහ එක් ඡන්ද හිමියකු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ තොරතුරු අනාවරණය කළේය.