ක්‍රිකට් ව්‍යවස්ථාවේ සංශෝධන සමඟ නව නිලධාරී මණ්ඩලය තේරීම ලබන වසරේ-ඡන්ද නාමලේඛනය සැකසීමේ පූර්ණ බලය නිලවරණ කමිටුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධනයක් සිදු කරමින් ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට අති විශේෂ මහ සභා රැස්වීමේදී තීරණය වෙයි. ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ මහා සභා රැස්වීමේදී ක්‍රිකට් ආයතන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිෂ්ථානයක් පසු කරමින් ක්‍රිකට් මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ශක්තිමත් කරමින් විගණන කමිටුවක්, ආයෝජන සහ අයවැය කමිටුවක් සහ ඒ ආශ්‍රිත ගනුදෙනු කමිටුවක් ස්ථාපිත කිරීමටද සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය හිමිව ඇත.

මේ ව්‍යවස්ථා සංශෝධනය සමඟ ලබන වසරේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද විමසීම සඳහා වන නිලවරණ කමිටුව පත් කිරීම සිදුවූ අතර, එහිදී විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය ඇතුළු පංච පුද්ගල නිලවරණ කමිටුවක් පත් කර ගැනීමද සිදුවිය. එම නිලවරණ කමිටුව මඟින් ඉදිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්ද විමසීමේදී සුදූසකම් ලබන නාමලේඛනය සැකසීමේ අයිතිය හිමිව ඇති අතර, එම නාමලේඛනය ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් වනු ඇත.

මෙතෙක් පැවති ක්‍රිකට් ඡන්ද ක්‍රමය අනුව සෑම සාමාජික සංගමයකටම ඡන්ද දෙක බැගින් හිමිවූ අතර, නව ඡන්ද ව්‍යුහය මඟින් සුදුසුකම් ලත් ක්‍රිකට් සමාජ සහ සම්මේලනවලට එක් ඡන්දයක් බැගින් හිමි වේ. එම ඡන්ද බලය තීරණය කරනු ලබන්නේ මෙරට අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලි මට්ටමින් දක්වන දත්ෂතා සැලකිල්ලට ගෙනය. එමෙන්ම එම ක්‍රීඩා සමාජවල ඇති යටිතල පහසුකම් කවරේද ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට කෙබඳු දායකත්වයක් ලබාදී ඇත්ද යන්න සලකා බලා ඡන්ද බලය පිරිනැමීම විශේෂත්වයකි.

පළාත් ක්‍රිකට් සංගම්වලට ද ඡන්ද බලය හිමිවන අතර, ඔවුන් ද නියමිත සුදුසුකම් සපුරාලීම අනිවාර්ය වේ. කලින් ඡන්ද බලය හිමිව තිබූණද මේ වන විට ක්‍රියාකාරීත්වයක් නොමැති යැයි නිලවරණ කමිටුවට හැඟී ගිය‌හොත් එම දිස්ත්‍රික් සංගම්වල ඡන්ද බලය අහෝසි කරනු ඇත. ඡන්ද බලය හිමිවන සියලු ක්‍රීඩා සංගම් හා අනුබද්ධ සංගම් නිසි පරිදි නිලවරණ පවත්වා මහ සභාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයා නිශ්චිතව නම් කොට බලය පැවැරීම ද අනිවාර්ය වේ.

රට පුරා ක්‍රිකට් සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයින් වෙනුවෙන් සම මට්ටමේ පහසුකම් සහිත ක්‍රීඩාංගණ ලබාදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කොට ඇත. මෙම

ව්‍යවස්ථාමය සංශෝධනය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට්

වෘත්තීමයභාවය, විනිවිදභාවය සහ කුසලතා මත පදනම් වූ ක්‍රිකට් පාලනයට මඟ සලසනු ඇති බව විශ්වාසය වේ.