කුඹුරු සඳහා වහාම වන්දි ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් විරෝධතාවක

හානි වූ තම කුඹුරු සඳහා වහාම වන්දි දෙන ලෙස ඉල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් පිරිසක් අම්පාර කෘෂි රක්ෂණ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වනු ලැබීය.

අම්පාර කෘෂි රක්ෂණ කාර්යාලය ඉදිරිපිටට පැමිණි මෙම පිරිස “ගොවීන්ට වන්දි ලබා දියව්“, “වන්දි මුදල වැඩි කරනු“, “පොහොර සහනාධාරය ලබාදෙනු“ යන නාමපුවරු සහිතව නිහඬ විරෝධයක නිරත විය.

මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නීතිඥ ලයනල් ගුණසේකර මහතා පැවසුවේ මේ ආණ්ඩුව ගොවීන් රවටමින් සිටින බවයි. දැනට කුඹුර සඳහා තක්සේරු කර ඇති මුදල ප්‍රමාණවත් නොවන නිසා එම නීති වෙනස් කර ගොවීන්ට සහන සලසා දෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටින බවද පැවසීය. දැනට ගොයමට මාසයක් ගතවී ඇතත් සමහර ගොවීන්ට පොහොර මුදල් ලැබී නැති බව ද පැවසීය.

විනාඩි 30ක පමණ කාලයක් නිහඬ විරෝධයක යෙදුණු ගොවි ගෙවිලියන් සාමකාමීව විසිර ගියහ.