අගමැතිනිය මගේ ගුරුවරියයි-සහතික ඉදිරිපත් කරමින් විපක්ෂ නායක කියයි

කිසිදු අවස්ථාවක තමන් බොරු සහතික ඉදිරිපත් කර නැති බවත් එලෙස ඉදිරිපත් කර ඇති බවට කිසිවකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවත් සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය. කිසිදු ජීවදත්ත පත්‍රිකාවක තමන් නොලැබූ සුදුසුකමක් සඳහන් කර නැති බවත් සියලු කරුණු ඉදිරිපත් කළේ විනිවිදභාවයෙන් යුතුව බැවින් මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් විමසා සත්‍ය අසත්‍යභාවය තහවුරු කළ හැකි බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රකාශ කරන සහ ඉදිරිපත් කරන සෑම දෙයකටම සහ සහතික පත්‍රයකටම තමන් වගකියන බවත් අසත්‍ය ප්‍රකාශ කරන බවට කවරකු හෝ සනාථ කළහොත් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට ප්‍රකාශ කළ පරිදි පාර්ලිමේන්තුවේදී සිය අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතිකපත්‍ර සහ ලේඛන සභාගත කරමින් පාර්ලිමේන්තුවේදී සිය අදහස් දක්වමිනි. පෙර පාසල් අධ්‍යාපනය ආරම්භ කළේ සෙන් බ්‍රිජට් කොන්වන්ට් එකෙන් බවත් 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ තමන් සාමාන්‍ය පෙළ විභාගයට මෙරටදී පෙනී නොසිටි බව ද පැවසීය. තමා සතුව අස්වීමේ සහතික පවා ඇති බවත් කනිෂ්ඨ ශිෂ්‍ය නායකයකු, ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස රාජකීය විද්‍යාලයේ සිටි බවත් ඊට අදාළ සහතික සියල්ල සභාගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන් පසුව එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ බවත් 1983 සහ 1984 කාලයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බවත් තමා සාමාන්‍ය පෙළ අසමත් යැයි W9ක් ඇති බවට පවසමින් අසත්‍ය ප්‍රචාර ගෙන ගිය බවත් ඔහු සඳහන් කළේය. ඒ කාලයේ W යන සාමර්ථ්‍යය නොතිබූ බවත් A සාමර්ථ්‍යය සහ B සාමර්ථ්‍යය තිබූ බවත් තමා සාමාන්‍ය පෙළ අසමත් කියන බොරුව සමාජගත කරන අයට මේ සහතික පරීක්ෂා කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මිල්හිල් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ 1984 වසරේ නිවාස ශිෂ්‍ය නායකයකු 1985දී පාසල් ශිෂ්‍ය නායකයකු 1986 වෙනකම් ක්‍රිකට් ක්‍රීඩා කර 1985 ක්‍රිකට් කණ්ඩායමේ ලේකම් සහ 1986 ක්‍රිකට් කණ්ඩායමේ නායක පවා වූ බවත් ඊට අදාළ සාක්ෂි තමා සතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 1986දී උසස් පෙළ විෂයන් 3න් 2ක් එනම් දේශපාලන විද්‍යාව හා ව්‍යාපාරික අධ්‍යයනය පාසල් ත්‍යාගය පවා ලබා ගත් බවත් උසස් පෙළ ප්‍රතිඵල ලේඛනය ද සභාගත කරන බවත් එයට අනුව උසස් පෙළට B දෙකයි C එකක් ඇති බවත් මේ ප්‍රතිඵල මත පදනම්ව උපාධිය හැදෑරීමට ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගිය බවත් 1991දී උපාධිය ලබාගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ඇන්ඩ් පොලිටිකල් සයන්ස් යන විශ්වවිද්‍යාලයෙන් තමාට ලියූ ලිපි සහ උපාධි සහතික ද ඇති බවත් ඉන්පසුව අමෙරිකාවේ යුනිවර්සිටි ඔෆ් මේරිලන්ඩ් කොලේජ් පාර්ක් යන විශ්වවිද්‍යාලයට මාස්ටර් ඔෆ් පබ්ලික් මැනේජ්මන්ට් යන පාඨමාලාව හදාරන බවත් 1991 සහ 1992දී විෂයන් 8කට මුහුණදී විෂයන් 6කට A සාමර්ථ්‍යය සහ විෂයන් 2කට B සාමර්ථ්‍ය ලබා ගත් බවත් ඒවා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.

1993 මැයි 1 පියාගේ අභාවයත් සමඟ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ දේශපාලනය කළ බවත් අමෙරිකාවේ මාස්ටර් උපාධිය හදාරන විට වසර 2ක් සෙනට් මණ්ඩලයේ සෙනට් සභිකයකු වූ ලැරී ප්‍රෙස්ලර් නම් පුද්ගලයා ළඟ ස්වේච්ඡා සේවකයකු ලෙස වැඩ කළ බවත් ඊට අදාළ සහතික ද ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

2021 සහ 2022 වසරේ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බවත් එයට ඇතුළත් වූ පදනම එහි ආචාර්යවරියක වූ අගමැතිතුමියත් දන්නා බවත් පාරිසරික විද්‍යාව සම්බන්ධ මාස්ටර් එකක් එහි සිදු කළ බවත් එහිදී අගමැතිවරිය පැවැත් වූ පන්තිවලට ද සහභාගි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.