ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට සිවුවැනි ජය වාර්තා කළ ජැෆ්නා ටයිටන්ස් පිල සිය පස්වැනි තරගය නිමාකරද්දී අපරාජිතව ලකුණු සටහනේ පෙරමුණ ගැනීමත් සමඟ කල් ඇතිවම පළමු සුදුසුකම් ලැබීමේ තරගයට පිවිසියේය. ජැෆ්නා ටයිටන්ස් පිල තරග 5කදී ජයග්‍රහණ 4ක් හා විසඳුමකින් තොර තරගයක් වාර්තා කොට ලකුණු 9ක් ලබා සිටින හෙයින් බාධාවකින් තොරව පළමු සුදුසුකම් ලැබීමේ තරගයට පිවිසේ.
තරග 5කදී ජයග්‍රහණ 2ක් හා විසඳුමකින් තොර තරග 2ක් වාර්තා කොට ලකුණු 6 බැගින් ලබා සිටින හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා ගෝල් මාවලර්ස් යන කණ්ඩායම් දෙකටම ඊයේ මුහුණදීමට නියමිත වූ තරග දෙක වැස්සට සේදී යෑම හේතුවෙන් තවමත් ලකුණු සටහනේ දෙවැනි තැන සම තත්ත්වයේ පසුවීමට සිදුව තිබේ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා කළම්බු ජගුවර්ස් අතර තරගයත්, නුවරඑළිය කිංග්ස් හා ගෝල් මාවලර්ස් අතර තරගයත් වර්ෂාව හේතුවෙන් නොපවත්වා එම කණ්ඩායම් 4ට ලකුණ බැගින් ප්රදානය කෙරිණි.
ජැෆ්නා ටයිටන්ස් හා නුවරඑළිය කිංග්ස් පිල අතර පෙරේදා විදුලි ආලෝක ධාරා මැද පැවති තරගයෙන් ජැෆ්නා ටයිටන්ස් ලකුණු 53කින් ජය ගැනීමත් සමඟ ඔවුන් සිවුවැනි ජයග්‍රහණය වාර්තා කළේය.
මෙතෙක් ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු එකතුව වාර්තා කරමින් ඕවර් 10 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 153ක් ලබාගත් අතර, නුවරඑළිය කිංග්ස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 100කට සීමා විය.
නුවරඑළිය කිංග්ස් පිල එක් අවස්ථාවකදී ලකුණු 12කට කඩුලු 5ක් බිඳ වැටී තිබූ අතර, චාමික කරුණාරත්න පන්දු 26කදී හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 58ක් ලබා සටන්කාමී ප්රහාරයක නිරත වුවද, සියලු වාසි ජැෆ්නා ටයිටන්ස් හිමිකර ගත්තේය.
තෙවැනි කඩුල්ලට පන්දු 35කදී ලකුණු 89ක සබඳතාවක් ගොඩනැඟූ ටොම් ඇබෙල් හා චරිත් අසලංක ජැෆ්නා ටයිටන්ස් වෙනුවෙන් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වූහ. එංගලන්ත ජාතික ටොම් ඇබෙල් පන්දු 24කදී හයේ 3ක් හා හතරේ 8ක් සමඟ ලකුණු 59ක් හා චරිත් අසලංක පන්දු 17කදී හයේ 2ක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 33ක් ලබා ගත්තේය.
ජැෆ්නා ටයිටන්ස් පිල කඩුලු 4කට ලකුණු 153 (ඕවර 10) කුසල් මෙන්ඩිස් 9, චරිත් අසලංක 33, ටොම් අබෙල් 59, ඩේවිඩ් වයිස් නොදැවී 14, ඩෙව්නි ප්‍රිටෝරියස් නොදැවී 18 (චාමික කරුණාරත්න 34/2, දුෂාන් හේමන්ත 24/1, කයිල් මේයර්ස් 12/1)
නුවරඑළිය කිංග්ස් කඩුලු 8ක් දැවී ලකුණු 100 (ඕවර 10) බෙනී හොවෙල් 6, චාමික කරුණාරත්න නොදැවී 58, ළහිරු මධුසංඛ 9, දුෂාන් හේමන්ත 7 (ප්‍රමෝද් මධුෂාන් 8/3, නුවන් තුෂාර 5/2, දුනිත් වෙල්ලාලගේ 9/2, ඩෙව්නි ප්‍රිටෝරියස් 15/1)