පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය අවම කර ගැනීමට කටයුතු කරනවා

පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය අවම කර ගැනීම සඳහා ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් මසා ලබා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ″ “රන්සළු ″ ජාතික අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ප්‍රදර්ශනය සහ අලෙවි සල්පිල පසුගියදා (06 දා) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

දේශීය අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය ප්‍රවර්ධනය හා සංවර්ධනය කරමින් එහි නිරත ශිල්පීන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණ ඇතිව මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත‍

මෙම ප්‍රදර්ශනයට සමගාමීව පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව පවත්වන ලද පේෂ කර්මාන්ත රෙදිපිළි නිර්මාණ තරගයේ විවිධ අංශ මඟින්

ජයග්‍රහණය කළ ශිල්පීන් 125 දෙනෙක් සඳහා සම්මාන හා මුදල් ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදු කරන ලදි.

ජයග්‍රහණ නිර්මාණ ඇතුළත් විලාසිතා දැක්මක් ද ප්‍රදර්ශන භූමිය තුළ සංවිධානය කර තිබූ අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති හා නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහත්වරු මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූහ.

ප්‍රදර්ශනය නැරඹීමට එක් වූ සුනිල් හඳුන්නෙත්ති හා චතුරංග අබේසිංහ ඇමැතිවරුන් ප්‍රදර්ශනයට එක්ව සිටි පේෂ කර්මාන්ත ශිල්පීන් හා ගැනුම්කරුවන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර පේෂ කර්මාන්ත ශිල්පීන් තම කර්මාන්තය කරගෙන යෑමේදී ඔවුන් දෙන මුහුණදෙන ගැටලු පිළිබඳව ඇමැතිවරුන් දැනුම්වත් කරන ලදි.

මෙහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා විජයාවතරණයේ සිට අද දක්වාම අති මහත් දුෂ්කරතා රැසක් හමුවේ දේශීය අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන රැගෙන පැමිණි ශිල්පීන්ට ජාතියේ ප්‍රණාමය පුද කළේය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම්වරුන් වන නන්දනී සමරවික්‍රම හා සුභද්‍රා වල්පොළ , පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සේනානි සෙනෙවිරත්න, අමාත්‍යාංශ නිලධාරීන්, පේෂ කර්මාන්ත ශිල්පීන්,

ගැනුම්කරුවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.