උතුරු කොරියානු බලවේග සහ අභ්‍යන්තර රාජ්‍ය විරෝධීන් මැඬ පැවැත්වීමට බව කියමින් දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් පෙරේදා රාත්‍රි ප්‍රකාශයට පත් කළ යුද නීතිය අවහිර කිරීමට පැය දෙකක් ඇතුළත එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධව විපක්ෂයට චෝදනා කරමින් ජනාධිපතිවරයා රට පුරා යුද නීතිය ප්‍රකාශයට පත් කළ බව රූපවාහිනියෙන් ජනතාව අමතා සඳහන් කිරීමත් සමඟ දැඩි කෝපයට පත් දහස් සංඛ්‍යාත ජනතාව සෝල් නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය වට කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අතිවිශාල හමුදා කණ්ඩායමක් යුද ටැංකි ඇතුළු හමුදා වාහන මඟින් පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ළඟා වූ බවත්, එරට පාර්ලිමේන්තුවේ බහුතර විපක්ෂයට පාර්ලිමේන්තුවට පිවිසීම අවහිර කරමින් මාර්ග බාධක ඉදි කළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පාර්ලිමේන්තුව අවහිර කිරීම වැළැක්වීමට ජනතාව මාර්ග බාධක බිඳ දමමින් මන්ත්‍රීවරුන්ට සභා ගර්භයට පිවිසීමට ජනතාව සහයෝගය ලබා දී ඇති අතර, යුද නීතිය අවහිර කිරීමේ ඡන්ද විමසීම අවසන් වනතුරු පාර්ලිමේන්තුව තුළට හමුදාව ඇතුළුවීම වැළැක්වීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.
හමුදාව සහ ජනතාව අතර ගැටුම් ඇතිවීමෙන් මීට දින කිහිපයකට පෙර දැඩි හිමපතනයකින් වැසී ගිය සෝල් නුවර පෙරේදා මැදියම් රැයේදී උණුසුම් වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් යුද නීතිය අවහිරවීමත් සමඟ යුද නීතිය පනවා පැය 6කට පසු එය ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් බව වාර්තා වේ.
ජනාධිපතිවරයා යුද නීතිය පැනවීමට පියවර ගෙන ඇත්තේ ඔහුට එරෙහිව ජනතා විරෝධය උත්සන්න වීමත්, පාර්ලිමේන්තුවේ බහුතරයක් වන විපක්ෂය විසින් දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලසුම් කිරිමත් හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුද නීතිය අකුළා ගැනීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබුවද, ඉදිරි දින කිහිපයේදී ඔහුට එරෙහිව දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.