පහේ ශිෂ්‍යත්වය පිටවූ ප්‍රශ්න 3ටම ලකුණු දෙන්න කැබිනට් නිර්දේශය-නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය යළි පැවැත්වීමෙන් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකි බැවින් එම ප්‍රශ්න පත්‍රයේ කලින් පිටවූ ප්‍රශ්න තුන සඳහා විභාගයට ඉදිරිපත් වූ සියලු සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (02) දැනුම් දුන්නේය. ඒ අනුව එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව අමාත්‍ය මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

පසුගියදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රය අවලංගු කර එය නැවත පවත්වන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියම කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ බව දැනුම් දුන්නේය.

ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි ප්‍රශ්න තුනක් කලින් පිට වූ බව සඳහන් “පළමු ප්‍රශ්න පත්‍රය” යළි පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට මීට පෙර කළ නියෝගයක් අනුව සඳහා මෙම පෙත්සම කැඳවන ලදි.

කැබිනට් මණ්ඩලය පසුගිය 25 වැනිදා රැස්වී මෙම කරුණට අදාළව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන ඇමැතිවරිය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් එහිදී අධිකරණය හමුවේ පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේය.

ඒ අනුව අදාළ ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පැවැත්වීම තුළින් සිසු සිසුවියන් පීඩාවට පත්වීමට හැකියාව තිබෙන නිසා එම විභාගය යළි පැවැත්වීම නුසුදුසු බව කැබිනට් මණ්ඩලය විසින් නිර්දේශ කර ඇති බව සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය. ඒ අනුව කලින් පිටවූ බව සඳහන් ප්‍රශ්න තුන සඳහා එම විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට නිදහස් ලකුණු ලබාදීමට කැබිනට් මණ්ඩලය නිර්දේශ කර ඇති බව ද ඒ මහතා කීය.

අදාළ ප්‍රශ්න පත්‍රය සඳහා නැවත විභාගය පැවැත්වීම කළහොත් විභාග දෙපාර්තමේන්තුවේ සෙසු විභාග පැවැත්වීමේ කටයුතු ගැටලුකාරී වීමට ඇති බව ද එසේ වුව හොත් හයවැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ද ප්‍රමාද විය හැකි බව ඒ මහතා සඳහන් කළේය. මෙම පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් මෝසමක් ගොනු කළ බව ද සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කළේය.

කෙසේ වුවද මෙම පෙත්සම් කෙටි දිනයක් තුළ විභාගයට ගැනීම සඳහා දින නියම කරන ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව පෙත්සම් විභාගය දෙසැම්බර් මස 11 වැනිදා පැවැත්වීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.

මෙම පෙත්සම් විභාගයට ගැනීමට මීට පෙර අවසර ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය 05 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීම සහ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ද එදින නිකුත් කළේය.

එසේම පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙර පිටවූ බව කියන පළමුවන ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න තුනකට අදාළව පිළිතුරු පත්‍ර සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට බලධාරීන් විසින් ගෙන ඇති තීරණය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලදි.

එසේම අදාළ පිළිතුරු පත්‍රවලට ලකුණු ලබාදීම සහ එම විභාගයේ දී ලබා ගන්නා ලකුණු මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලදි. විභාග කොමසාරිස් ජනරාල්වරයා, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු කැබිනට් මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය සැප්තැම්බර් 15 වැනි දින පැවති බව පෙත්සමේ සඳහන් වේ. මෙම ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස අඩංගු ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට පසුව තොරතුරු වාර්තා වූ බව පෙත්සමෙහි දැක්වෙයි. ඒ සම්බන්ධ සොයා බැලීමේදී මෙම ප්‍රශ්න තුනට බොහෝදුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු විසින් ලබා දී ඇති බවට කරුණු හෙළි වූ බව ද එහි සඳහන් වේ. අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ වූ බව ද පෙත්සම්වල සඳහන් වේ.

පිටවී ඇති බව කියන අදාළ ප්‍රශ්න පත්‍ර තුන ඉවත්කොට පිළිතුරු පත්‍රවල ඇගයීම් කටයුතු කිරීමට මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට මේ පත්කළ කමිටුව මගින් තීරණය කළ බව තමන්ට දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්වල සඳහන් වේ. පෙත්සම්කරුවන් ඊට සිය අකැමැත්ත පළ කරන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ද පෙත්සම්වල සඳහන් වේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමෙන් අනතුරුව එය ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වූ අතර එම විභාගයේ පිළිතුරු පත්වලට අදාළ ඇගයීම් කටයුතු සති දෙකකට අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් නියෝග කළ බව ද පෙත්සමේ සටහන් වෙයි.

කෙසේ වුවද බලධාරීන් විසින් අදාළ ශිෂ්‍යත්ව විභාගය නැවත නොපැවැත්වීමට තීරණය කළ බව ද පිටවී ඇති ප්‍රශ්නවලට සියලු සිසුන්ට ලකුණු ලබාදීමට තීරණය කළ ඇති බව ද මාධ්‍යවලින් ඉකුත් 14 වැනිදා තමන්ට දැන ගැනීමට ලැබුණු බව පෙත්සම්කරුවන් විසින් පෙන්වා දී තිබේ.

එලෙස ලකුණු ලබාදීමක් සිදු කළ හොත් විභාගයට පෙනී සිටි සිසුන්ගේ අවසන් ප්‍රතිඵලයට එය අගතිදායක ලෙස බලපෑමක් සිදුකළ හැකි බව පෙත්සමෙහි සඳහන් වෙයි. මෙම සමස්ත ක්‍රියාවලිය හේතුවෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙත්සම්කරුවෝ කියා සිටිති. එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත. අදාළ ප්‍රශ්න පත්‍ර සකස් කළ කමිටුවේ නාම ලේඛනය අධිකරණයට ලබාදෙන ලෙස නියෝග කරන ලෙස ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති. පිටවී ඇතැයි කියන ප්‍රශ්නවලට අදාළව සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන ලෙස ද පෙත්සම් මගින් ඉල්ලා ඇත. මෙම ප්‍රශ්න පිටවීම ඇතුළුව ඊට අදාළ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති. මෙම සිද්ධිය මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සංජීව ජයවර්ධන, ක්‍රිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරු ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.