බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී එ්කාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුව විසින් සංවිධාන කළ උද්ඝෝෂණයකදී පොලීසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක් ඊයේ (02) හට ගැනිණ. මාර්ගය අවහිර වන සේ උද්ඝෝෂණයේ නියැළෙන උද්ඝෝෂකයන් ඉවත් කිරීමට පොලීසිය උත්සාහ දැරූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (02) පැවැත්වූ උද්ඝෝෂණයක් අතරතුර හටගත් උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර විරෝධතාකරුවන් සිව්දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ රෝහල් ගත කළ එක් පොලිස් නිලධාරියකුගේ තත්ත්වය බරපතළ අතර ඔහු කැපුම් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සිව්දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10දා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා ඊයේ (02) නියෝග කළේය. එදිනට සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
තුවල ලත් පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු මුල්ලේරියාව රෝහලටත් බරපතළ තුවාල ලැබූ එක් අයකු කොළඹ ජාතික රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරී එකමුතුවේ සාමාජිකයන් 500ක් පමණ මේ විරෝධතාවට සහභාගී වී ඇති අතර ඔවුන් බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පාගමනින් පැමිණ පාසල් සංවර්ධන නිලධාරීන් වහා ගුරු සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවේ නිරත වුණි.
මෙහිදී පොලිසිය විසින් ඔවුන්ට අධ්‍යාපන නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දීමට පියවර ගත්තද එම සාකච්ඡා අසාර්ථක වූ බව කියමින් ඔවුන් ඉසුරුපාය ඉදිරිපිට වාඩී වී මාර්ගයද හරස් කරමින් විරෝධතාවේ නියැළිණි. එහිදී පොලිසිය ඔවුන් ඉවත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මෙසේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර මෙහිදී උද්ඝෝෂකයන් විසින් දැලි පිහියකින් හෝ බ්ලේඩයක් (තලයක්) වැනි දෙයකින් පොලිස් නිලධාරීන්ට කැපීම් සිදු කර ඇති බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිනමිණ‘ට ඊයේ (02) පැවැසීය.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් අතර උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයන් දෙදෙනෙක් වෙති. මේ උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග අංක 174 කොට්ටාව-බොරැල්ල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.