ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදුන් බව කියන එවකට හිටපු කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණය කර තිබූ නියෝගයට අනුව මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා නොදුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ඇමැති ටිරාන් අලස්, හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, හිටපු ඇමැති මහින්ද අමරවීර යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙසට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
ඇමැතිවරු ලබා දුන් ප්‍රකාශ මඟින් එම ප්‍රකාශවල ඇති පොදු කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය අධිකරණය ඉදිරියේ කරුණු මෙසේ පවසා සිටියාය . ‘හිටපු කැබිනට් ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා, නිමල් සිරිපාල ද සිල්වා මහතා, ඩග්ලස් දේවානන්ද මහතා ඉදිරිපත් කළ කරුණු මඟින් කැබිනට් පත්‍රිකාවක් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමේදී ඇමැතිවරයා සහ එහි වගකීම පිළිබඳව පැහැදිලි කරුණු ඉදිරිපත් කළා. එහිදී සෑම අමාත්‍යාංශයකම ලේකම්වරයා ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා වන බවත් ඒ අනුව යම් අවස්ථාවක අමාත්‍යාංශයක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එමඟින් අමාත්‍යාංශයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යතාවක් පැන නැඟුනහොත් ලේකම්වරයා එම අමාත්‍යාංශයේ සිටින අනෙකුත් අතිරේක ලේකම්වරු සහ වගකිවයුතු නිලධාරින්ගෙන් තොරතුරු ලබා ගෙන කැබිනට් පත්‍රිකාව තහවුරු කිරීමට අවශ්‍ය වන ඇමුණුම් ලේඛන ඉදිරිපත් කරමින් විෂය භාර ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළයුතු බවත් පසුව විෂය භාර ඇමැතිවරයා එය අධ්‍යයනය කොට එහි කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ නම් පමණක් කැබිනට් සංදේශයකට ඇමැතිවරයා අත්සන් තබා එම කැබිනට් සන්දේශය ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් ඇමැති ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බව එම ප්‍රකාශවලින් අනාවරණය වුණා.’
‘තවද මෙම නඩුවට අදාළ ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාවේ රටේ පැවති උග්‍ර ආර්ථික අවපාතය හේතුකොටගෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ පිළිබඳව හිඟකමක් තිබූ බවට හිටපු කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරු විශ්වාස කළ බවත් ඒ අනුව මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අවස්ථාවේ දී කැබිනට් පත්‍රිකාවේ ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබූ බවත් අනුමැතිය ලබා නොදුනහොත් සෞඛ්‍ය ක්ෂේත්රය කඩාවැටීමකට ලක්වන බවට ඒ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අවධානයක් යොමු කළ බවත් එය අනුව අදාළ කැබිනට් පත්‍රිකාවේ හදිසි මිලදී ගැනීමක් ලෙස මිලදී ගත යුතු ඖෂධ මොනවාද කියා විස්තරාත්මකව සඳහන් වී නොතිබුණත් එය අමාත්‍යවරයා විසින් එනම් මෙම නඩුවේ අටවන සැකකරු වන කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන එම කරුණු සත්‍ය ලෙස විශ්වාස කොට රටේ ඒ වෙලාවේ පැවති අවශ්‍යතාවක් අනුව සලකා එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් බව හිටපු කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ලබාදුන් සියලු ප්‍රකාශවලින් පිළිගෙන තිබෙනවා’ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙෙණවිය අධිකරණය ඉදිරියේ තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටියාය.
තවදුරටත් හිටපු අමාත්‍යවරුන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් ඔවුන් පවසා සිටියේ හිඟ ඖෂධ 187 හා ශූන්‍ය ඖෂධ 17 මොනවාද යන්න පිළිබඳව කැබිනට් පත්‍රිකාවේ නොතිබූ බවත් 8 වන සැකකරු මත ඇති විශ්වාසය හේතුවෙන් මෙම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදුන් බව අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙෙණවිය පවසා සිටියාය. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ යුතුව ඇත්තේ 2022 සැප්තැම්බර් 26 දින වියයුතු නමුත් 8වන සැකකරු විසින් 2022 ඔක්තෝම්බර් 03 දින වන මෙම ඖෂධ ගෙන්වීමේ අනුමැතිය ඉල්ලා ඇති බවත් ඒ වන විට එම ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩරය ප්‍රසිද්ධ කොට වසා තබා තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වෙන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙෙණවිය අධිකරණය ඉදිරියේ කරුණු ප්‍රකාශ කළාය.
ලංකාවේ ප්‍රථම වතාවට ලියාපදිංචි සහතිකයක් හෝ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය මුදා හැරීමේ කොන්දේසියට යටත්ව නොමැති සැපයුම්කරුවෙකුට මෙම ඖෂධ ගෙන්වීමට භාර දී ඇති බවත් තවදුරටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙණවිය අධිකරණයට කරුණු පවසා සිටියාය. ඊයේ දින මෙම නඩුවේ සියලු සැකකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පළමු සැකකරු සම්බන්ධයෙන් නඩුව නැවත දෙසැම්බර් 13 දින සහ අනෙකුත් සියලු සැකකරුවන් සම්බන්ධයෙන් නඩුව පෙබරවාරි 21 දින කැඳවීමට නියෝග කළාය.