පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වගා කළ කුඹුරු අක්කර 338,446ක් විනාශ වී ගොවීන් 137,880ක් පීඩාවට පත්ව ඇතැයි
ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය.
මෙයින් වැඩිම හානි උතුර සහ උතුරු මැද පළාත්වලින් වාර්තා වන අතර යාපනය, අම්පාර, පොලොන්නරුව සහ මඩකළපුව දිස්ත්‍රික්කවල කුඹුරු මුළුමනින්ම ජලයෙන් යටවී ඇති නිසා තවමත් වගා හානි පිළිබඳව තොරතුරු ලබා ගැනීමට නොහැකි වී ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.
ඇතැම් ප්‍රදේශවල ගොවිජන සේවා මධ්‍යස්ථානද ජලයෙන් යටවීම නිසා අදාළ නිලධාරින්ට එහි ගොස් රාජකාරි ඇරැඹීමට බාධා පැමිණ ඇතැයිද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා කියයි.
මේ වන විට ජලය බැසගොස් ඇති ප්‍රදේශවල සිදු කළ තොරතුරු රැස්කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කුඹුරු අක්කර 101035ක ගොවීන් 46,674කගේ වී වගාව විනාශ වී ඇති බවයි. තවමත් ජලයෙන් යටවී ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 237,481කි. මෙයින් වගා හානි සිදුවී ඇති ගොවීන් ප්‍රමාණය 91,206කි. මුලතිව් දිස්ත්‍රික්කයෙහි අක්කර 23,930ක්ද, වවුනියාව අක්කර 23247ක්ද, මන්නාරම අක්කර 20,865ක්ද, ත්‍රිකුණාමලය අක්කර 10672ක්ද වශයෙන් පවතින අයහපත් කාලගුණය නිසා වී වගාව විනාශ වී තිබේ.
එමෙන්ම උඩරට ප්‍රදේශවල එළවළු වගාවන් ද විනාශ වී ඇති බවත් නුවරඑළිය ප්‍රදේශයේ අර්තාපල්, ගෝවා ඇතුළු එළවළු වගාවන් රැසක් මුළුමනින්ම විනාශ වී ඇති බවත් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
පවතින ගංවතුර තත්ත්වය පහව ගිය වහාම මෙම වගා හානි තක්සේරු කිරීම් ඇරැඹීමට ගොවිජන සේවා දෙපාර්තමේනතුව කටයුතු යොදා ඇතැයිද ඒ මහතා අවධාරණය කළේය.