බෙදී වෙන් නොවී වැඩ කිරීමෙන් රටක් ලෙස අපට ඉදිරියට යා හැකියි-ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති මොහොමඩ් මුනීර්

බෙදී වෙන් නොවී ශ්‍රී ලාංකිකයන් යන අරමුණින් ක්‍රියා කිරීමෙන් රටක් ලෙස ඉදිරියට යා හැකි බවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැඟීමට ජාතික ඒකාබද්ධතාවට ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවත් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති, මොහොමඩ් මුනීර් මහතා පැවැසීය.

රාජගිරිය බුත්ගමුව පාරේ පිහිටි ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති කාර්යාලයේදී ඊයේ (28) සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැතිවරයා මේ බැව් සඳහන් කළේය. රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීය.

ජාතීන් අතර සමගිය, සංහිඳියාව ඇති කිරීමේ භාරදුර කාර්යය සාර්ථකව ඉටු කිරීමට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමැති ධුරය ලබාදීම පිළිබඳව ජනාධිපතිට ස්තුතිවන්ත වෙනවා. වත්මන් රජයට ලැබුණු ජනවරම තුළම සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් යන හැඟීම ඇති වුණා.ජාතීන් වශයෙන් බෙදී වෙන් නොවී ශ්‍රී ලාංකිකයන් යන්න අරමුණු කර ගනිමින් එක්ව වැඩ කිරීමෙන් රටක් ලෙස ඉදිරියට යා හැකියි.

ජාතික සමගියට ආගමික සුහදත්වය හානි නොවන පරිදි කටයුතු කිරීම වගකීමක් ලෙස සැලකිය යුතුයි. ශ්‍රී ලාංකික යන හැඟීම පසුගිය කාලයේ ජනතාවගෙන් ඈත්ව තිබුණා. අතීතයේ සිදු වූ දේ පිළිබඳ සත්‍ය සෙවීමේ වගකීම අපට තිබෙනවා. සත්‍ය සෙවීම ඔස්සේ යුක්තිය ඉටු කළ යුතුයි. ජාතික සමගිය සංහිඳියාව ගොඩනඟන්න එක්ව කටයුතු කළ යුතුයි. ජාතීන් අතර සමගිය ඇති කිරීමේ කාර්යයේදී මාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැඟීමට ජාතික ඒකාබද්ධතාව අතිශයින් වැදගත් වෙනවා’ යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

සර්ව ආගමික නායකයන් ආශීර්වාද එක් කළ අතර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ, හර්ෂණ නානායක්කාර, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීරුවන් මාපලගම‍, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ, අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජාතික ඒකාබද්ධතා) යූ. කුගනාතන් මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.