පවතින හදිසි ආපදා තත්ත්වය යටතේ ජනතාවට අවශ්‍ය සහන සැලසීමට සහාය වීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවරුන්, තාක්ෂණික නිලධාරීන් අනිවාර්යයෙන්ම තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා පවසයි.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගත් බවත් ඒ අනුව මෙම නිලධාරීන් මේ වන විට නිවාඩු ලබාගෙන ඇත්නම් එම නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා අවධාරණය කරයි.
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්වරයා, මහවැලි අධ්යක්ෂ ජනරාල් සහ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් සමන්විත කමිටුවක් මඟින් පවතින ආපදා තත්ත්වය නිරන්තර අධීක්ෂණයට සහ සමාලෝචනයටත් ඇමැතිවරයා උපදෙස් දී තිබේ.
මහවැලි අධිකාරියේ නිලධාරීන් තම ප්‍රදේශවල ආපදාවන්ට පත් ජනතාවට සහන සැලසීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය සහාය ලබාදිය යුතු බවටත් ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි ද වික්‍රමසිංහ මහතා කියයි.
දැනට පිටාර ගලන ජලාශවලින් පරාක්‍රම සමුද්‍රය හා රාජාංගණය වැව ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුවත් කිරීම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවරුන්, තාක්ෂණික නිලධාරීන් මඟින් සිදු කරන ලෙසටත් ඇමැතිවරයා උපදෙස් දුන් බව ද ලේකම්වරයා කියයි.
වැසි ජලයෙන් ආපදාවට ලක්ව ඇති අක්කරෙයිපත්තුව හා නිල්වලා ගඟ ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට අවශ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට මෙම ආයතනවල නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බවටත් පවතින වර්ෂා තත්ත්වය මත ඉදිරියේදී හානියට පත්වන ප්‍රදේශ හඳුනාගෙන මෙම නිලධාරීන් අවශ්‍ය සේවා සැපයිය යුතු බවටත් උපදෙස් දී ඇතැයි ද ලේකම්වරයා සඳහන් කරයි.