සිය වෘත්තීය ගැටලුවකට විසඳුම් බලාපොරොත්තුවෙන් තමා හමුවීමට පැමිණි යාපනය ශික්ෂණ රෝහල තුළ ස්වේච්ඡාවෙන් සේවය කළ තරුණ තරුණියන් පිරිසක් සමඟ ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කර විසඳුම් සෙවීමට පියවර ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
වසර 03කට වැඩි කාලයක් මෙම පිරිස යාපනය ශික්ෂණ රෝහල තුළ ස්වේච්ඡා සේවය සිදු කර තිබෙන බවත් විශේෂයෙන්ම මෙම පිරිසේ සහයෝගය ඇතිව රෝහල් සේවා පවත්වාගෙන යන බවට සාකච්ඡාවේදී අනාවරණය වූ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
යාපනය ශික්ෂණ රෝහලේ ස්වේච්ඡාවෙන් සේවය කළ පිරිසත් සමඟ පෙරේදා (26) සිදු කළ සාකච්ඡාවෙන් පසුව ඇමැතිවරයා මේ බව සඳහන් කරනු ලැබීය.
යාපනය ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු මෙම ස්වේච්ඡා පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණ තිබුණේ පූර්ව දැනුම් දීමකින් තොරවය.
වසර ගණනාවක සිට තමන් යාපනය ශික්ෂණ රෝහල තුළ සෞඛ්‍ය කනිෂ්ඨ කාර්ය මණ්ඩල රාජකාරීවලට අදාළව සිය ස්වේච්ඡා සේවාවන් සපයන බවත් සිය සේවාව ස්ථීර කිරීමට පියවර ගන්නා ලෙසට ඉල්ලා සිටි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඉහත කරුණු පිළිබඳව අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් සමඟ මූලික සාකච්ඡාවක් පවත්වා අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ සිටි අනෙකුත් ස්වේච්ඡා සේවකයින් හමුවට පැමිණි අතර, එම පිරිස සමඟ සුහදව සාකච්ඡා කරමින් එම සේවකයින්ගේ ගැටලුව ගැන සිය අවධානය යොමු කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වත්සලා ප්‍රියදර්ශනී මහත්මිය සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක් වූහ.