හෙක්ටයාර 852,000ක කුඹුරු බිම් සඳහා සියලුම ගොවීන්ට රුපියල් 25,000 බැගින් වූ පොහොර සහනාධාරය අනිවාර්යයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා රුපියල් මිලියන 20,000ක් වෙන් කර ඇති අතර පොහොර සහනාධාරය බෙදා දීමේදී කිසිදු ගොවියකු අත් නොහරින බවද ඒ මහතා සඳහන් කළේය.
මේ මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමේදී යම් යම් පමාවීම් ඇති බව පිළිගන්නා බවත් එම ගැටලු නිරාකරණය කරමින් සිටින බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා:
“මේ වෙනකොට පොහොරවලට අදාළව ගත්තොත් හෙක්ටයාරයක් සඳහා ගොවි ජනතාවට රුපියල් 25,000ක සහනාධාරයක් ලබා දීමට රජය ආරම්භ කර තිබෙනවා. එහිදී රුපියල් 10,000ක් වැඩි කරපු මුදල මැතිවරණ නීතිය බලපැවැත්වීමත් සමඟ වෙනමයි දෙන්න සිදු වුණේ. මේ වෙනකොට ඒක එකටම දෙන්න පටන් අරන් තිබෙනවා. ඒ අනුව සමහර ගොවීන්ට රුපියල් 15,000ක් වෙනමත් රුපියල් 10,000ක් වෙනමත් ගිණුම්වලට මුදල් ලබා දෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ වෙනකොට මුදල් ලබා දීමේ ප්‍රමාදයක් තිබෙනවා කියන කාරණය චෝදනාවක් විදිහට මේ වෙනකොට ඇවිත් තිබෙනවා. අපි ඒක පිළිගන්නවා. යම් ප්‍රමාදයක් තිබෙනවා. ඒ දේ අපි අනිවාර්යයෙන්ම නිවැරදි කරනවා.
“පළමුවෙන්ම අපි කියනවා ගොවි ජනතාවට හෙක්ටයාර 800,000ක් සඳහා මෙවර 850,000ක් දක්වා වගා කැළැයි කියන දත්ත අපිට ලැබිලා තිබෙනවා. ඒ සියලුම ගොවීන්ට හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් සහනාධාරය ලබා දෙනවා. ඒ අනුව රුපියල් මිලියන 20,000කට වැඩි මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කරලා තිබෙනවා. ඒ මුදල් සියල්ලම ලැබෙනවා. කිසිම ගොවියකු අත්හරින්නෙ නැහැ. ඒ සහතිකය අපි ලබා දෙනවා. සමහර දේවල් දවසින් දෙකෙන් විසඳන්න බැහැ. ඒ වගේම යම් යම් ප්‍රමාදවීම්ද තිබෙනවා. මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිලධාරින් 19,764 අවශ්‍යයි. නමුත් මේ වෙනකොට ඉන්නෙ 13761 යි. ඒ දේවලත් හිඟයක් තිබෙනවා.”