මුහුදින් උපරිම ප්‍රයෝජන ගැනීමට අපි තවමත් සමත්ව නැහැ-ඇමැති වසන්ත සමරසිංහ

ලංකාව වටා ඇති මුහුදෙන් ධීවර කර්මාන්තයේ සහ මුහුද ආශ්‍රිත වෙනත් කර්මාන්ත ක්ෂේත්‍රයේ උපරිම ප්‍රයෝජන ගැනීමට අපි තවමත් සමත් වී නොමැති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමුද්‍රීය අංශයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් ප්‍රථම වරට පවත්වන වොයේජ් ශ්‍රී ලංකා 2024 සමුළුවට එක්වෙමිනි.

නිල් ආර්ථිකය සඳහා මෙරට දායකත්වය සහ ගෝලීය සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස එහි විභවයන් ඉස්මතු කරමින් සමුද්‍ර සහ ජල ජීවී වගා සේවා පිළිබඳවත්, මෙරට විශේෂඥතාව මෙන්ම බෝට්ටු හා නැව් තැනීමේ කර්මාන්තවල ශක්තීන් පිළිබඳවත් මේ සමුළුවෙන් අවධානය යොමු කරනු ඇත. රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් එක්රැස් කරමින් තිරසාර භාවිතයන්, අති නවීන තාක්ෂණයන් සහ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමට මේ සමුළුවෙන් පහසුකම් සලසනු ලැබීය. ඉන්දියාව, සවුදි අරාබිය, මාලදිවයින, ප්‍රංශය සහ කාම්බෝජය ඇතුළු රටවල ආයෝජකයන්, ගැනුම්කරුවන් සහ කර්මාන්තය පිළිබඳ උනන්දුවක් දක්වන දෙස් විදෙස් පිරිස මෙහිදී ඔවුන්ගේ විශේෂඥ දැනුම බෙදා හදා ගත්තේය.

මෙරට සමුද්‍ර සහ අක්වෙරළ, තෙල් සහ ගෑස් අංශයේ නැඟී එන ප්‍රවණතා ගවේෂණය කිරීම, මෙරට වෙරළ තීරයේ වෙරළාසන්න සුළං සහ පුනර්ජනනීය බලශක්ති සම්පත් කෙරෙහි අවධානය යොමු කිරීම, නැව් තැනීම සහ අලුත්වැඩියා කිරීමේදී වත්මන් සහ අනාගත අභියෝග ආමන්ත්‍රණය කිරීම, ගෝලීය වෙළෙඳපොළ සඳහා බෝට්ටු නිෂ්පාදනයේ අවස්ථා, ධීවර අපනයන කර්මාන්තයේ විභවයන් විවෘත කිරීම මේ සමුළුවේ අරමුණු වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“අපනයන සංවර්ධන මණ්ඩලය අපේ රටේ නිල් ආර්ථිකය පිළිබඳව අලුත් ආරම්භයක් ගැනීමට අද ජාත්‍යන්තර වගේම දේශීය නිෂ්පාදකයන්, ආයෝජකයන් සහ නව නිපැයුම්කරුවන් සියලු දෙනාට ආරාධනා කරමින් මේ සමුළුව පවත්වනවා. අපේ රටේ මුහුද සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කර රටට ඩොලර් උපයන ක්ෂේත්‍ර තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි. මුහුද තිබුණට අපි මුහුදෙන් වැඩ ගන්නේ නෑ. ධීවර කර්මාන්තයේ සහ මුහුද ආශ්‍රිත වෙනත් කර්මාන්ත ක්ෂේත්‍රයේ උපරිම ප්‍රයෝජන ගන්න අපි තවමත් සමත් වෙලා නෑ. බෝට්ටු නිෂ්පාදනය ඇතුළු මේ ක්ෂේත්‍රයට අදාළ බොහෝ නිෂ්පාදන කරන අපේ කර්මාන්තකරුවන් ඉන්නවා.

ඒ අයට අවශ්‍ය කරන උදව්ව රජයේ මැදිහත්වීම වගේම ලෝකයට ප්‍රවිෂ්ට වීමට ලැබෙන සහයෝගයේ අඩුවක් තිබෙනවා. මේ අය ලෝකයට විවෘත කිරීමට මඟපෙන්වීම සහ සහයෝගය දීම ඉලක්ක කරගෙන අපනයන සංවර්ධන මණ්ඩලය අද මේ සමුළුව පවත්වනවා. වොයේජ් ශ්‍රී ලංකා 2024 මේ පටන් ගත් ගමන දැවැන්ත ආර්ථිකයක් සහිත නිල් ආර්ථිකය අත්පත් කරගැනීම වෙනුවෙන් අපේ රටට ලැබෙන දැවැන්ත අවස්ථාවක්. එය විවර කරගැනීමට නව ආයෝජකයන්ට අවස්ථාව දෙන්න, අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ තුළින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න ප්‍රවේශය ගැනීමට අපේක්ෂා කරනවා.”

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා

“අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පළමු වතාවට අපේ රටේ වොයේජ් ශ්‍රී ලංකා 2024 සමුළුව පවත්වනවා. මෙරට සමුද්‍රීය අක් වෙරළ සහ බෝට්ටු නිෂ්පාදනය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලි කර දීම මෙහිදී සිදු කළා. ඉන්දියන් සාගරයේ හොඳම පිහිටීම තියෙන්නේ අපේ රටේ. බොහෝ රටවලට අපේ රට හරහා නැව් ගමනාගමනය කරනවා. මේ තුළින් විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහිවෙනවා. දේශීය සහ විදේශීය ආයෝජන රැසක් මේ සමුළුවෙන් ලංකාවට රැගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා.

වර්තමාන රජයේ ආර්ථික බලාපොරොත්තුව වන්නේ ඉදිරි වසර පහ තුළ අපනයන ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් ඇති කිරීමයි. මේ තුළින් අපට ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයන්න පුළුවන්. දැනට මේ සමුළුවට සහභාගිවී සිටින ආයෝජකයන් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ ගාල්ල වරාය නිරීක්ෂණය කළා. ඉදිරි වසර පහේ අපේ රටේ පවතින දේශපාලන ස්ථාවරභාවයත් එක්ක ආර්ථික ස්ථාවරත්වය ඇති කරමින් මේ ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීමට අපට හැකියාව ලැබේවි යැයි අපි විශ්වාස කරනවා.”