මධ්‍යම පළාතේ පාසල් 1470ක ගුරුවරුන් 6,176ක හිඟයක් – මන්ත්‍රිනී රෝහිණී කවිරත්න

මධ්‍යම පළාතේ පාසල් 1470ක ඉගැන්වීම සඳහා අවශ්‍ය ගුරුවරුන් 6,176 ක හිඟයක් පවතින බවත් එම ගුරු හිඟය පියවීම සඳහා මධ්‍යම පළාත් සභාව සහ අධ්‍යාපන අමාත්‍යාංශය වහා පියවර ගත යුතු බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසූවාය. මධ්‍යම පළාතේ ගුරුවරුන් 33,028ක් සිටිය යුතු නමුත්, මේ වන විට එයින් පහෙන් එකක්ම, පුරප්පාඩු වී ඇති බව එම මහත්මිය කීවාය.

මහනුවර කලාපයේ පමණක් ගුරුවරුන් 1,092ක හිඟයක් ඇති අතර ජාතික පාසල් රැසක ගුරු අතිරික්තයක් තිබියදී දරුවන්ට උගන්වන්නට ගුරුවරුන් ලබා නොදීම ජාතික අපරාධයක් බව කවිරත්න මහත්මිය කියා සිටියාය.

මධ්‍යම පළාතේ ගුරු තුලනයක් ඇති කිරීමටත්, ගුරු විභාගය සමත් 3,000කට ආසන්න පිරිස විධිමත් ආකාරයට පළාත් රාජ්‍ය සේවයට බඳවා ගැනීමටත් පියවර ගත යුතු බව පැවැසූ මන්ත්‍රීවරිය, මධ්‍යම පළාතේ ගුරු හිඟය පාසල් පද්ධතියට දරාගත යුතු මට්ටමකට රැගෙන ඒමට වහා පියවර ගත යුතු බව සඳහන් කළාය.

මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, නාඋල, විල්ගමුව හා ගලේවෙල කලාපවල පමණක් ගුරුවරුන් 1,245ක හිඟයක් පවතින බවත් දීර්ඝ කාලයක් මානව හා භෞතික සම්පත් ලබා දෙමින් ගොඩනැඟූ මාතලේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන තත්ත්වය ගුරු හිඟය හා ගුරු තුලනය සිදු නොකිරීම නිසා අවුල් ජාලයක් බවට පත් වෙමින් ඇති බවත් එම මහත්මිය පැවැසූවාය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, නුවරඑළිය, වතු පාසල් ගුරු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන තත්ත්වයකට පත්ව ඇති බවත් එම මහත්මිය කීවාය.

සංවර්ධන නිලධාරීන් ලෙස සේවයට බඳවාගත් 2000කට වැඩි පිරිසක් අතුරින් තවත් 1,470 දෙනෙකු විධිමත් ගුරු පත්වීමක් නොලබා පාසල්වල ඉගැන්වීමේ කටයුතු සිදු කරන බව පැවැසූ එම මහත්මිය සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව විසඳීමට රජය වහා පියවර ගත යුතු බව ද පැවැසූවාය.