පැතුම්-වියෙ­ස්කාන්ත් මධු­සංඛ ගන්න කව්රුත් නෑ

ඒෂාන් මාලිංගටත් කෝටි 4ක් 

කමිඳු හා දුෂ්මන්ත කෝටි දෙක­හ­මා­ර­කට විකි­ණෙයි

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ පැවති ක්‍රීඩක වෙන්දේ­සි­යේදී රාජ­ස්ථාන් රෝයල්ස් කණ්ඩා­යම විසින් ශ්‍රී ලංකා කණ්ඩා­යමේ ප්‍රධාන දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හස­රංග ඉන්දීය රුපි­යල් කෝටි 5.25කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 18.12ක්) සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපි­යල් කෝටි 4.4කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 15.19ක්) මිලදී ගත් අතර, වේග පන්දු යවන නුවන් තුෂාර ඉන්දීය රුපි­යල් කෝටි 1.6කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 5.53ක්) රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් මිලදී ගත්තේය. එයට අම­ත­රව කමිඳු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර ඉන්දීය රුපි­යල් ලක්ෂ 75 බැගින් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.58ක්) පිළි­වෙ­ලින් සන්ර­යිස් හයි­ද්‍රා­බාද් හා දිල්ලි කැපි­ටල්ස් යන කණ්ඩා­යම් මිලදී ගත්හ. වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.20කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 4.14ක්) සන්රයිස් හයිද්‍රාබාද් මිලදී ගත්තේය.

එහෙත් ආර­ම්භක පිති­කරු පැතුම් නිස්සංක, වේග පන්දු යවන ඩිල්ෂාන් මධු­සංඛ හා යොවුන් දඟ පන්දු යවන විජ­ය­කාන්ත වියෙ­ස්කාන්ත් කිසිදු කණ්ඩා­ය­මක් මිලදී ගැනී­මට උනන්දු නොවූහ. මධු­සංඛ මෙයට පෙර මුම්බායි ඉන්දි­යන්ස් කෝටි 4.6කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 15.89ක්) මිලදී ගත් අතර, 23 හැවි­රිදි විජ­ය­කාන්ත වියෙ­ස්කාන්ත් පසු­ගිය ඉන්දීය ප්‍රිමි­යර් ලීග් තර­ගා­ව­ලියේ සන්ර­යිස් හයි­ද්‍රා­බාද් කණ්ඩා­ය­මට ක්‍රීඩා කළේය.

සෞදි අරා­බියේ රියාද් නුව­රදී ඊයේ නිමාවූ ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රීඩක වෙන්දේ­සි­යේදී පැතුම් හා වියෙ­ස්කාන්ත් ඉන්දීය රුපි­යල් ලක්ෂ 75 බැගින් වූ ලංසු­වක් යටතේ (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 2.58ක්) ඉදි­රි­පත් කළ අතර, ඒ ආකා­රයේ එංග­ල­න්තයේ ආදිල් රෂීඩ්, දකුණු අප්‍රි­කාවේ කේෂව් මහ­රාජ්, බට­හිර ඉන්දීය කො‍දෙව් ක්‍රීඩක අකීල් හොසේන්, සිම්බාබ්වේ සිකන්ද රාසා, ඔස්ට්‍රේ­ලි­යාවේ ස්ටිව් ස්මිත් හා ඇෆ්ග­නි­ස්තා­නයේ මුජි­බර් උර් රහ්මාන් වැනි ක්‍රීඩ­ක­යින්ට ද මිලක් තීර­ණය නොවුණි.

ඊයේ දින‍යේ රෝයල් චැලෙ­න්ජර්ස් බැංග‍ලෝර් කණ්ඩා­යම ඉන්දීය ක්‍රීඩක බුව­නේ­ෂ්වර් කුමාර් ඉන්දීය රුපි­යල් කෝටි 10. 75කට (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 37.11ක්) මිලට ගැනීම විශේ­ෂ­ත්ව­යකි.

ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ඉති­හා­සයේ වඩාත්ම මිල අධික ක්‍රීඩ­කයා බවට පත්වූ රිෂාබ් පාන්ට් ලක්නව් සුපර් ජැයන්ට්ස් පිල ඉන්දීය රුපි­යල් කෝටි 27කට (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් කෝටි 93කට) මිලට ගත්තේය.

අයි­පී­එල් වෙන්දේ­සි­යේදී දෙවැනි වටි­නා­කම හිමි වූ ශ්‍රේයාස් අයි­යර් ඉන්දීය රුපි­යල් කෝටි 26.75 කට (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් කෝටි 92කට) පන්ජාබ් කිංග්ස්  මිලදී ගත්තේය. එය පසු­ගිය වසරේ කොල්කටා නයිට් රයි­ඩර්ස් රුපි­යල් කෝටි 24.75කට (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් කෝටි 85.28කට) අලෙවි වූ මිචෙල් ස්ටාක්ගේ වාර්තාව අබිබවා යෑමකි.