භික්ෂුන් වහන්සේගේ චර්යාත්මක දුර්වලතා සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ කාරක සංඝ සභා මඟින් ගන්නා තීන්දු තීරණ අධිකරණය මඟින් ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සඳහා විහාර දේවාලගම් ආඥා පනතට සංශෝධන ගෙන එන ලෙස පසුගිය රජයන් ගණනාවකට කළ යෝජනා කිසිවක් ඉටු නොවුණු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ පවසති.
ඇතැම් භික්ෂුන් වහන්සේගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාජය තුළ බරපතළ විවේචන එල්ල වන බවත් ඔවුන් සම්බන්ධයෙන් සංඝ සභා මඟින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට නීතිමය බලයක් අධිකරණය මඟින් ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පවතින බවත් උන් වහන්සේ කීහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී ලාල්කාන්ත, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි යන මහත්වරු පසුගියදා (22) පස්වරුවේ අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමි ප්රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාවේ හිමිවරු කිහිපනමක් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදී ආණ්මඩුවේ ධම්මදස්සී අනුනාහිමියෝ මේ බව පැවසූහ.
මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද, නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද නාහිමිවරු ද සහභාගි වූහ.
එහිදී ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ මෙසේ පැවසූහ.
භික්ෂුන් වහන්සේගේ චාර්යාවන් සම්බන්ධයෙන් මතු වන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගිය කාලය තුළ විවිධ යෝජනා ඉදිරිපත් කළා. එක වෙලාවට කථිකාවත් ගේන බව කියනවා. තවත් වෙලාවක විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරන බව කියනවා. ඒ සඳහා කමිටු දානවා. මේ කමිටුවලින් වැඩේ දග්ගැස්සෙනවා මිස ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැහැ. පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කරනවාට වඩා මේ අවස්ථාවේ බරපතළම ගැටලුව වන භික්ෂුන්ගේ චර්යාවන් නිසා මතුවන ප්‍රශ්න සඳහා විසඳුමක් ලබාදීමට හැකි වන ලෙස සංශෝධනයක් ගෙන එන ලෙස ත්‍රෛනිකායික මහා සංඝරත්නය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ ගැන විශේෂ අවධානයක් යොමු කර වත්මන් රජය කඩිනමින් ඒ සඳහා විසඳුමක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.
අමාත්‍ය විජිත හේරත් මහතා ද අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.
ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම වගේම රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමත් අප ඉදිරියේ ඇති අභියෝගයක්. පසුගිය ජනපතිවරණය සහ මහමැතිවරණය ඉතිහාසයේ පළමු වතාවට ප්‍රචණ්ඩක්‍රියා නැතිව සාමකාමී ලෙස පැවැත්වුණා. අපි ඉදිරියටත් අපේක්ෂා කරන්නේ එවැනි තත්ත්වයක් රටේ පවත්වාගෙන යන්නයි. පසුගිය කාලයේදී පාර්ලිමේන්තුවත් රටේ ජනතාවට එපා වෙලා තිබුණේ. පාර්ලිමේන්තුව තුළත් අලුත් සංස්කෘතියක් ඇති කරන්න අපි අරමුණු කරගෙන ඉන්නවා. මහා සංඝරත්නයේ ආශීර්වාද, අනුශාසනා වගේම සාධනීය විවේචනයත් අපි අපේක්ෂා කරනවා. උතුරු පළාතින් නොහිතපු විශාල ජයග්‍රහණයක් අපිට ලැබුණා.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.
මීට පෙර පැවැති මැතිවරණවල ප්‍රතිඵල බැලුවම කලින් ප්රතිඵලවල සියලු ජන කොටස් නියෝජනය වන බව පෙනෙන ප්‍රමාණය අඩුයි. මෙවර තිබෙන විශේෂත්වය තමයි සෑම සමාජ තීරුවක්ම, සෑම ජන කොටසක්ම මේ ප්‍රතිඵලය තුළ නිරූපණය වෙනවා. මේ ප්‍රතිඵලය තුළ අපිට පේන්න තිබෙන හොඳම දේශපාලන ජයග්‍රහණය එයයි.
මෙහිදී ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ ද අදහස් දැක්වූහ.