මාරාන්තික මෙතනෝල් රසායනික ද්‍රවණය සහිත ව්‍යාජ මත්පැන් පානය කිරීම හේතුවෙන් ලාඕසයේ වැං වීන්ග් නුවර සංචාරක පුරවරයේ සිටි විදේශික සංචාරකයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එම සංචාරක පුරවරයේ නවාතැන් ගෙන සිටි යොවුන් වියේ පසුවූ අමෙරිකානු ජාතික තරුණයකු සහ ඩෙන්මාර්ක ජාතික තරුණියන් දෙදෙනකු මියයෑමත් සමඟ මෙතනෝල් විෂ සහිත මත්පැන් අලෙවි කිරීමේ සිදුවීම හෙළි වී ඇති අතර, පෙරේදා තවත් විදේශිකයන් දෙදෙනකු මියයෑමත් සමඟ තත්ත්වය බරපතළ වූ බව වාර්තා වේ.
වැං වින්ග් නුවර පිහිටි කුඩා හෝටලයක නවාතැන් ගෙන සිටි ඔස්ට්‍රේලියානු ජාතික 19 හැවිරිදි තරුණියක් ඊයේ ජීවිතක්ෂයට පත්වීමත් සමඟ බව මෙතනෝල් විෂ සහිත මත්පැන් පානය කිරීමෙන් මියගිය විදේශිකයන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මත්පැන් පානය කළ බව කියන තවත් තරුණියක් මේ වනවිට රෝහල්ගත කර සිටින බවත්, බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වන ඇගේ තත්ත්වය බරපතළ බවත් වාර්තා වේ.
පෙරේදා ජීවිතක්ෂයට පත්වූ විදේශිකයන් දෙදෙනා අතර 19 හැවිරිදි ඔස්ට්‍රේලියානු තරුණියක් සහ 28 හැවිරිදි බ්‍රිතාන්‍ය නීතිඥවරියක සිටින බවත්, එම ඔස්ට්‍රේලියානු තරුණිය ඊයේ මියගිය තරුණිය සමඟ ලාඕසයේ සංචාරය කළ ඇගේ මිතුරියක බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඔස්ට්‍රේලියානු තරුණියන් දෙදෙනා මියයෑමෙන් පසු ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ කළමනාකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මියගිය තරුණියන් දෙදෙනා ඇතුළු අමුත්තන් 100කට පමණ පසුගියදා හෝටලය මඟින් නොමිලේ මත්පැන් වීදුරුවක් බැගින් පිරිනැමූ බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර තිබේ. ඔස්ට්‍රේලියානු තරුණියන් දෙදෙනා හැර සෙසු අමුත්තන් කිසිදු රෝගී තත්ත්වයකට ගොදුරු නොවූ බවද හෝටල් කළමනාකරු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.