ඉදිරි වසර පහක කාලය ඇතුළත රජයේ ඉලක්කය ශ්‍රී ලංකාවේ වාර්ෂික සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 45ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කරයි. සංචාරක ව්‍යාපාරයේ ආදායම ඇතුළුව එවැනි වාර්ෂික ඉලක්කයක් කරා ගමන් කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව අපේක්ෂිත භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 25ක් සහ අපේක්ෂිත සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් වන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී ඊයේ (20) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ අද වන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 12ක් සහ සේවා අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වන නමුත් ඉදිරි වසර පහක කාලයේදී එම ආදායමේ විශාල වර්ධනයක් අපේක්ෂා කරන බවත් දේශපාලන ස්ථාවර බව සමඟ ආර්ථික ක්ෂේත්රයේ විශාල ප්‍රගතියක් ශ්‍රී ලංකාවේ අපේක්ෂා කළ හැකි බවත්ය.
එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කිරීමේදී වරාය ක්ෂේත්රය ඉක්මනින් දියුණු කළ හැකි බව පෙන්වා දුන් සභාපතිවරයා ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය වෙනුවෙන් ස්ථාපිත රාජ්‍ය ආයතනය වන අපනයන සංවර්ධන මණ්ඩලය තුළින් ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය හා සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම සහ මඟපෙන්වීම සිදුකරන බව ද පෙන්වා දුන්නේය.
මේ වනවිට ප්‍රධාන වශයෙන් භාණ්ඩ සහ සේවා අපනයනය ශ්‍රී ලංකාවෙන් සිදු වන බව කී මංගල විජේසිංහ මහතා නව රජයේ අපේක්ෂාව අපනයන ආදායම ඉහළ නංවමින් රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම බව ද ඒ වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙන බව ද පැවසීය. එවැනි ඉලක්කයක් කරා ශ්‍රී ලංකාවේ අපනයන ආදායම රැගෙන යෑම සඳහා මේ වනවිට අධ්‍යයනය කරමින් තිබෙන බව පැවසූ සභාපතිවරයා එක් එක් ක්ෂේත්‍ර ඔස්සේ අපනයන ආදායම වැඩි කිරීම සහ නව නිෂ්පාදන අපනයනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මේ සඳහා වැදගත් වන බව ද පැවසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා, නීල් ප්‍රනාන්දු සහ පෞද්ගලික සමාගමේ අධ්යක්ෂ ශාන් පෙරේරා, GAC ගෘප් ශ්‍රී ලංකා ආයතනයේ අධ්යක්ෂ රිකී බර්නාට් මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.