අවුරුදු 76ක පාලන ක්‍රමය වෙනස් කර මේ රට සැබෑ පොහොසත් රටක් කර ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට අත්පත් කරදීමට කැපවන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (20) බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශයේදී වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව කීය.
එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
“ජාතික ජන බලවේගයේ නව ආණ්ඩුව යටතේ අද වැවිලි හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කරනු ලැබුවා. පසුගිය දාහත්වැනිදා ලබාදුන් සුවිශේෂී ජනවරමට අනුව අපි මේ රටේ ජනතාවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කර දෙන්න පොරොන්දු වුණා. ඒ කාර්යභාරයේදී වැවිලි හා යටිතල පහසුකම් අමාත්‍යාංශයට සුවිශේෂී වූ කාර්යයක් පැවරෙනවා. අපි සාමූහිකව මේ රට ගොඩනැඟීමේ ව්‍යාපාරයක යෙදී සිටින්නේ. මේ අමාත්‍යාංශයෙන් රටට ඉතා සුවිශේෂී මෙහෙවරක් කරන්න පුළුවන් කියා අපි හිතනවා. පීඩාවට පත් වූ ජන ප්‍රජාවක් මේ අමාත්‍යාංශයට ඇතුළත්. මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්න පුළුවන් අමාත්‍යාංශයක් හැටියට මේ අමාත්‍යාංශය අපි සලකනවා. ලංකා ඉතිහාසය ගත්තාම මේ රටට අපනයන ආදායම විශාල වශයෙන් ලබා දුන් තේ, පොල්, රබර් කර්මාන්ත තුනම මේ අමාත්‍යාංශයට අයත්.
අද වනවිට ඊට එහාට ගිහින් වැවිලි භෝග හැටියට කුරුඳු දෙපාර්තමේන්තුව, කජු සංස්ථාව, කිතුල් ඒ වගේම තල් ආදී වූ සුළු අපනයන භෝග ගම්මිරිස් වගාව ආදී ක්ෂේත්‍ර මේ අමාත්‍යාංශයට අයිතියි. මේ අමාත්‍යාංශය ආයතන තිස්එකක් සහිත අමාත්‍යාංශයක්. මේ රටේ ජනතාව අපට ලබාදුන් ජනවරමට අනුව ඉතිහාසයේ පවත්වාගෙන ආ තත්ත්වවලින් යම් වෙනස්කම් සහිතව වැඩදායී ඵලදායී අමාත්‍යාංශ බවට පත් කර සේවකයන්ට තෘප්තිමත් ආකාරයෙන් ජනතාවට ප්රතිලාභ ලැබෙන ආකාරයෙන් නව වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. අවුරුදු 76ක් තිබුණු පාලන ක්‍රමය වෙනස් කර මේ රට සැබෑ පොහොසත් රාජ්‍යයක් බවට ලස්සන ජීවිතයක් මේ රටේ ජනතාවට අත්පත් කර දෙන්න සූදානමින් අද වැඩ භාර ගත්තා. එකඟ වූ ආකාරයටම මේ රට ගොඩනැඟීමට අමාත්‍යාංශයේ වැඩ ඉතා සාර්ථකව කරන්න බලාපොරොත්තු වෙනවා.”