සංචාරක නවසීලන්ත පිලට එරෙහි එක්දින තරග දෙකම ජයගෙන සිටින ශ්‍රී ලංකා පිල අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයෙන් ජයගෙන පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සැලසුම් සකස් කරමින් සිටී. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා පිල පෙරේදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලැබූ කඩුලු 3ක ජයත් සමඟ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-0කින් ජයග්‍රහණය කර සිටී.
මේ වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති එක්දින තරගාවලි 5ක් පිට පිට ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටින අතර, මෙයට පෙර මේ වසරේදී ප්‍රබල ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය යන රටවල් පරාජය කොට තරගාවලි ජයග්‍රහණ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට සමත් විය. වසර 12කට පසු නවසීලන්තය එක්දින තරගාවලියකදී පරාජය කරමින් වාර්තා පොත් අලුත් කිරීම ද කැපී පෙණුනි.
මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා සංචාරය ඉලක්ක කොට ශ්‍රී ලංකා පිලේ සිටි කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස් හා අසිත ප්‍රනාන්දු ඉවත් කොට ඒ වෙනුවට නවක ක්‍රීඩකයන් තිදෙනකු එක්දින සංචිතයට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත. එම ක්‍රීඩකයන් වන්නේ නුවනිඳු පුනාන්දු, ළහිරු උදාර හා ඒෂාන් මාලිංග වේ.
නිමාවට පත්වූ එක්දින තරග ඉනිම් 5කදීම ලකුණු අතරට පිවිසීමට සමත් නොවූ සදීර සමරවික්‍රම අද තරගයට ක්‍රීඩා කිරීම සැක සහිත වී තිබේ. සදීර මෙතෙක් එක්දින තරග 49කදී ශ්‍රී ලංකාව නියෝජනය කොට ඇති අතර, ඔහු වෙනුවට චමිඳු වික්‍රමසිංහ එක්කළහොත් සදීරගේ 50 වැනි එක්දින තරගය ඔහුට අහිමිවී යනු ඇත. සංචිතයේ සිටින 22 හැවිරිදි චමිඳු වික්‍රමසිංහ තවමත් එක්දින වරම් දිනා නැති අතර, කොදෙව් පිලට එරෙහි එක්දින තරගාවලියේදී ලකුණු 69ක් හා 38ක් ලබාගත් නිෂාන් මධුෂ්ක ද බංකුවේ වාඩිවී බලා සිටී.
පෙරේදා පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය ඇමැතූ මහීෂ් තීක්ෂණ පැවැසුවේ යම් ක්‍රීඩකයකු අසාර්ථක වුවහොත් තවත් දක්ෂ ක්‍රීඩකයන් ස්ථානයක් සොයා ගැනීමට සැදී පැහැදී සිටින බවයි.
“මේ වසරේ හොඳ ප්‍රතිඵල ලැබුණේ කණ්ඩායමක් ලෙස හොඳින් ක්‍රීඩා කළ නිසයි. ක්‍රීඩකයන් අතර තරගකාරීත්වය වැඩියි. ඕනෑම කෙනෙක් හොඳට කළේ නැත්නම් දන්නවා එළියට යන බව. ඒ නිසා හැම ක්‍රීඩකයකුම උපරිම දක්ෂතා පෙන්වනවා. බංකුවේ දක්ෂයන් ගොඩක් සිටින නිසා කණ්ඩායමේ දක්ෂතා ඉහළ යෑම සිදු වෙනවා. පසුගිය වසර 3ට වඩා දැන් කණ්ඩායම යහපත් තත්ත්වයක තියෙන්නේ ඒකයි“ තීක්ෂණ පැවැසීය.
“ අපේ පන්දු රැකීම දැන් හොඳ තත්ත්වයක තියෙනවා. තරගයේ ඇතිවන පීඩනය තුළ අපහසු උඩ පන්දු අපි ගොඩක් ගන්නවා. කාසියේ වාසිය දිනා පන්දු රැකීමට තීරණය කළේ වැස්ස එන නිසා. වැස්සේ පන්දු යවන එක කොයිතරම් අමාරුද කියා අපි දැනගෙන හිටියා“ දෙවැනි එක්දින තරගය පිළිබඳ තීක්ෂණ අදහස් දැක්විය.
වර්ෂාව ඇද හැලීම හේතුවෙන් දෙවැනි එක්දින තරගය එක් ඉනිමක් ඕවර් 47කට සීමා කිරීමට විනිසුරුවෝ තීරණය කළ අතර, නවසීලන්ත පිල ඕවර් 45. 1කදී සියලු දෙනා දැවී ලකුණු 209ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පිල පන්දු 6ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ලකුණු 210ක් ලබා ජයග්‍රහණය සනිටුවහන් කළේය.
කුසල් මෙන්ඩිස් තම 32 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් අගනා ලකුණු 74ක් නොදැවී රැස් කළ අතර, ඒ සඳහා පන්දු 102ක් වැයකොට ඉවසිලිවන්ත ඉනිමක් ගොඩනැගූ අතර, මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක්, ජනිත් ලියනගේ ලකුණු 22ක් හා දුනිත් වෙල්ලාලගේ ලකුණු 18ක් ලබා ගත්හ.