උතුරු හා නැඟෙනහිර පළාතේ දේශපාලන බලය වැඩි වශයෙන් රඳවාගෙන සිටි ඉලංකෙයි තමිල් අරසු කච්චි මෙවර පසුබැසීමකට ලක්ව ජාතික ජන බලවේගය එම පළාත්වල ජනතා විශ්වාසය දිනාගෙන ඇති බව මෙවර මහමැතිවරණයේ මනාප ප්රතිඵලවලින් පෙනී යයි.
මෙයට පෙර පැවති මැතිවරණයන්හි දී උතුරු හා නැඟෙනහිර පළාත්වල වැඩිම මනාප ප්රමාණයක් ලබා ගෙන ඉදිරියෙන්ම ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිටියත් මෙවර උතුරු පළාතේ යාපනය හා වන්නි දිස්ත්රික් දෙකෙහිම වැඩිම මනාප ප්රමාණයක් හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජන බලවේගයයි.
යාපනය දිස්ත්රික්කයෙන් පළමු තැනට පත්වෙමින් ජාතික ජන බලවේගය මන්ත්රී ධුර 03ක් හිමිකර ගන්නාවිට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය දෙවැනි තැනට පත්වෙමින් දිනා ගැනීමට සමත්වන්නේ මන්ත්රී ආසන 02ක් පමණි.
නැඟෙනහිර පළාතේ දිගාමඬුල්ල හා ත්රිකුණාමලය යන දිස්ත්රික් දෙකෙහිම මනාප ප්රතිඵල අතරින් පළමු තැනට ජාතික ජන බලවේගය පත්වන විට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය දිගාමඬුල්ලෙන් සිව් වැනි තැනටත්, ත්රිකුණාමලයෙන් තෙවැනි තැනටත් පත්ව තිබීම විශේෂිතය.
ත්රිකුණාමලය දිස්ත්රික්කයෙන් මන්ත්රී ධුර 02ක් ද, දිගාමඬුල්ල දිස්ත්රික්කයෙන් මන්ත්රී ධුර 04ක් ද ජාතික ජන බලවේග හිමිකර ගන්නා විට ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂය එම දිස්ත්රික් දෙකෙන් හිමිකර ගන්නේ මන්ත්රී ධුර එක බැගිනි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙවර මහමැතිවරණයෙන් දිනා ගන්නා එකම දිස්ත්රික්කය වන්නේ මඩකලපුව දිස්ත්රික්කය පමණි. එම පක්ෂය මන්ත්රී ධුර 03ක් හිමිකර ගන්නා අතර එම දිස්ත්රික්කයේ දෙවැනි තැනට පත්වූ ජාතික ජන බලවේගය එක් ආසනයක් දිනා ගැනීමට සමත්ව ඇත.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙවර මහමැතිවරණයෙන් පසුබෑමකට ලක්ව ඇති අතර 2020 වසරේ පැවති මහමැතිවරණයෙන් මනාප 327,168ක් එම පක්ෂය ලබාගෙන තිබුණේ ජාතික ලැයිස්තු එක් මන්ත්රී ධුරයක් සමඟ මන්ත්රී ධුර10ක් හිමි කරගෙනය.
එහෙත් මෙවර මහමැතිවරණයේදී ඔවුන්ට හිමිකරගන්නට හැකියාව ලැබෙන්නේ මනාප 257,813ක් පමණි. ජාතික ලැයිස්තු මන්ත්රී ධුරයක් සමඟ එම පක්ෂයට මෙවර හිමිවන්නේ මන්ත්රී ධුර 08ක් පමණි.