හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අවධාරණය කළේය. එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවිය යුතු බවත් සභාපතිවරයා පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව සඳහන් කළේ, හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 14 වැනිදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා පැවසීය. සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබීමෙන් පසු පස්වරු 7.15න් පසුව ආරම්භ කරන බව ද ඒ මහතා පැවසීය. ඡන්ද බලප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධ්‍ය වෙත නිකුත් කරන බැවින් නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේය. ඡන්දය යනු පුරවැසියාගේ අයිතිය හා බලය බවත් ඔබගේ බලය හා අයිතිය නිවැරදි ලෙස පාවිච්චි කරන ලෙසත් 14 වැනි දින හැකි තරම් වේලාසනින් ඡන්දපොළට ගොස් සිය අයිතිය ප්‍රකාශ කරන ලෙස ද ඒ මහතා පැවසීය. ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදු වන බවත් එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත් කර ගැනීම සිදු කරන බවත් ඔහු පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මෙසේ ද පැවසීය.
“තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධිවිධාන යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරින් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදා තියෙනවා. ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යයට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදු වෙන්නේ. පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදු කරනවා. දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව. ඒක අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා. එයින් අනතුරුවයි පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ. එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත්කර ගැනීම සිදු කරනවා.
ඡන්ද ප්‍රදේශ ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය ඒවා මැතිවරණ කාර්යාලය විසින් නැවත පරීක්ෂා කිරීමෙන් පසුව ප්‍රතිඵල ලබාදෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ඡන්ද ගණන් කරන අවස්ථාවේදී මෙන්ම ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවලදී නිවෙස්වලම රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කණ්ඩායම් වශයෙන් එකතු වී ඡන්ද ප්‍රතිඵලවලට සවන් දීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. එක්රැස්වීම්, අයුතු ජනරාශිය යන වරදට ගැනෙන නිසා දඬුවම් ලැබිය හැකියි. එවැනි පිරිස් අත්අඩංගුවට ගත හැකියි.
යම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී සිදුවීමක් සිදු වුවහොත් එම ඡන්ද පොළේ ඡන්ද විමසීම ශුන්‍ය කිරීමට මැතිවරණ කොමිසම පියවර ගන්නවා. විශේෂයෙන්ම නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට පොලීසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනවා. ඒ වගේම ඕනෑම හදිසි අවස්ථාවක කැඳවීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටිනවා. ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව නිවෙස්වල රැඳී සිටින්න. ඔබ විසින් ප්‍රකාශ කළ ඡන්දය නිවැරදිව ගණන් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටිනවා. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබන්න. ආරක්ෂක අංශ අවශ්‍ය ආරක්ෂාව සපයනවා. සියලු කටයුතු අවසන් වීමෙන් පසු අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කරනතෙක් කටකතාවලට නොරැවටෙන්න. නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක්. ඡන්දය ඔබේ අයිතියයි.