සමාජ මාධ්‍ය හා කෙටි පණිවිඩ ඡන්ද ප්‍රචාර මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණයට

අපේක්ෂකයන් විසින් පවත්වාගෙන යනු ලබන කාර්යාල ඉවත් කළ යුතුයි

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිවාඩු ලබාදීම අත්‍යවශ්‍යයි

ප්‍රතිඵල විකාශය වන අවස්ථාවන්වල දී ඒකරාශී වී රතිඤ්ඤා පත්තු කිරීම, ආලෝකය සහිත බැලුන් ගුවනේ පා කිරීම වැනි කටයුතු නීතියෙන් තහනම්

හෙට (14) දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිහඬ කාලය තුළ විදත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය සහ කෙටි පණිවිඩ ඔස්සේ ද මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කළ නොහැකි බවත් සමාජ මාධ්‍ය හා කෙටි පණිවුඩ ඔස්සේ සිදුකරන ප්‍රචාර සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව අවධානය යොමු කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඊයේ (12) ප්‍රකාශ කළේය.

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බැවින් මේ වනවිට පවතින්නේ නිහඬ කාලය බවත් එස් එම් එස් කෙටි පණිවුඩ ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය උදෙසා සිදුකරන කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් හෙතෙම පැවසීය.

මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති මැතිවරණ පැමිණිලි නිරීක්ෂණ මධ්‍යස්ථානය, සමාජ මාධ්‍ය හැසිරීම නිරීක්ෂණය කරන බව සඳහන් කළ ඒ මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද, ඒ සඳහා වැඩපිළිවෙළක් යොදා ඇති බව ද සඳහන් කළේය.

මෙම ක්‍රියාකාරකම් ඝෘජුව පාලනය කිරීම අපහසු බව පෙන්වා දුන් ඒ මහතා, සමාජ මාධ්‍ය යම් මට්ටමකට පාලනය කළ හැකි බවත් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ විදේශීය රටවලින් බවත් පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව සඳහන් කළේ හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

ඡන්දය යනු පුරවැසියාගේ අයිතියක් බැවින් එම අයිතිය නිදහස් හා සාධාරණ ලෙස ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සියලු කටයුතු මැතිවරණ කොමිෂන් සභාව හා ආරක්ෂක අංශ ඇතුළු අදාළ ආයතන විසින් ලබාදී ඇති බවත් මෙවර මැතිවරණය සාර්ථකව පැවැත්වීම වෙනුවෙන් සියලුදෙනාගේම සහාය අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

එමෙන්ම මැතිවරණ රාජකාරි සඳහා පත්වීම් ලබා ඇති සියලුම නිලධාරීන්ට එම පත්වීම් වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට හැකියාවක් නැති බවත්, මැතිවරණ රාජකාරියට වාර්තා නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් සභාපතිවරයා පැවසීය.

එබැවින් මැතිවරණ රාජකාරි සඳහා පත්වීම් ලබා ඇති සියලුම නිලධාරීන් නියමිත දිනයේදී තමාට ලබා දී ඇති නියමිත ස්ථානයට රාජකාරි සඳහා වාර්තා කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා :

“14 වැනිදා පවත්වන මහමැතිවරණය සම්බන්ධයෙන් ඡන්ද දායකයන්ට වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණයි. මැතිවරණ රාජකාරිවලට යන නිලධාරීන්ටත් මෙම තොරතුරු වැදගත්. මැතිවරණ රාජකාරි වෙනුවෙන් පත්වීම් ලබාදී සියලුම නිලධාරීන් මැතිවරණ රාජකාරියට වාර්තා කළ යුතුයි. නියමිත දිනයේදී නියමිත ස්ථානයට වාර්තා කළ යුතුයි. එම පත්වීම් වෙනස් කරන්නට හෝ අවලංගු කිරීමට කිසිදු හැකියාවක් නැහැ. රාජකාරියට වාර්තා නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්.

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලද ඡන්ද දායකයන්ට අදාළ තැපැල් කාර්යාලවලින් මේ සම්බන්ධයෙන් විමසීම් සිදුකළ හැකියි. අවශ්‍යනම් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පැමිණ නිල ඡන්ද පත්‍රකාව බාගත කළ හැකියි. නිල ඡන්ද පත්‍රිකාව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනිවාර්ය සහතිකයක් නෙවෙයි. නිල ඡන්ද පත්‍රිකාව නොමැතිව වුණත් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

ඡන්ද පොළට යන විට ඔබ ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියැදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත , පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වලංගු හැඳුනුම්පත තහවුරු කිරීමේ ලේඛනය, ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත ආදියෙන් එකක් රැගෙන යා යුතුයි. මේ එකක්වත් නැත්තම් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්.

අපැහැදිලි හැඳුනුම්පත්, කාර්යාල හැඳුනුම්පත්, ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන ලද අයදුම්පත වෙනුවෙන් වූ කුවිතාන්සි ඡන්දය දැමීමට වලංගු වන්නේ නැහැ. ඡන්දය ප්‍රකාශ කිරීමේදී එය ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, අවි ආයුධ සන්තකයේ තබාගැනීම, මත්ද්‍රව්‍ය, මත්පැන් සන්තකයේ තබාගැනීම, පානය කර ඡන්ද මධ්‍යස්ථාන තුළට ඇතුළුවීම ආදිය සම්පූර්ණයෙන්ම තහනම්. එවැනි අවස්ථා උද්ගත වු‍ෙණාත් ආරක්ෂක අංශ අවශ්‍ය කටයුතු සිදුකරනවා.

ඒ වගේම ඡන්ද විමසීම් දිනයේදී ඡන්ද මධ්‍යස්ථානවල සිට මීටර් පන්සියයක දුරින් කිසිදු ප්‍රචාරක ක්‍රියාවක නිරත වීම තහනම්. විශේෂයෙන්ම ඡන්දය ආයාචනා කිරීම, යම් ඡන්ද හිමියකු වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු, යම් නිශ්චිත දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට පක්ෂව ඡන්ද දායකයන් දැනුම්වත් කිරීම‍, ඡන්ද පත්‍රිකා බෙදා හැරීම, දැන්වීම් කොළ, ඡායාරූප, එක් එක් පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට වෙන්කර ඇති ලකුණක් ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්.

ඡන්ද පෙට්ටිවල මුද්‍රිත අංකයක් සටහන් කරනවා. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථානයේදීත් එම අංකය පරික්ෂා කරනවා. සියලුම ඡන්ද මධ්‍යස්ථානවලට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් බලය පවරන ලද දෙදෙනකුට ඡන්ද මධ්‍යස්ථානවල සිටිය හැකියි. ඒ වගේම ඡන්දය අවසන් වීමෙන් පසුව ඡන්ද පෙට්ටි පොලිතින් කවරයක බහා මුද්‍රා තබනවා. නිලධාරීන් විසින් ඡන්ද පෙට්ටි මුද්‍රා තබන අවස්ථාවේ ඡන්ද පොල සිටින පක්ෂවල බලය පවරන නිලධාරීන්ටත් එය මුද්‍රා තබන අයුරු බලන්නට හැකියි. ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් කිසිම සැකයක් තබාගත යුතු නැහැ. ඒ සියල්ල නිසි පරිදි සිදු කරනවා.

ඡන්ද පත්‍රිකාව මොනරාගල, පොලොන්නරුව, ප්‍රදේශවල තනි තීරුව ලෙස ලබා දෙනවා. අනෙකුත් දිස්ත්‍රික්කවල තීරු දෙකක් ලෙසයි තිබෙන්නේ. යම් ඡන්ද දායකයකුට තමන් කැමැති දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියෙන් කතිර ලකුණ සලකුණු කළ හැකියි. ඒ වගේම ඡන්ද පත්‍රිකාව පහළ කොටසේ ඇති මනාප සලකුණු සහිත කොටු මනාප ප්‍රකාශ කිරීම සඳහා භාවිත කළ හැකියි. එක් මනාප අංකයක් ඉදිරියෙන් කතිර ලකුණ යෙදිය හැකියි. මනාප දෙකක් දීමට අදහස් කරන්නේ නම් පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමට කතිරය යොදා ඊට පහළින් ඇති මනාප කොටස මත කතිර දෙකක් යෙදිය හැකියි. මනාප තුනක් උපරිම වශයෙන් දෙන්න පුළුවන්. මනාප කොටසේ කොටු මත මනාප තුනක් සටහන් කරන්න පුළුවන් කතිර වශයෙන්. ඒ වගේම අවශ්‍යනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයකින් ලබාගත් අවසරය මත දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල කිහිපදෙනකුට වාහනයකින් ඡන්ද පෙටිටි ගෙනයන වාහන පිටුපසින් ගමන් කළ හැකියි.

ඡන්ද පෙට්ටි ගණන් කිරීම ආරම්භ කිරීමට පෙර ගණන් කිරීමේ මධ්‍යස්ථානවලදී ඡන්ද පෙට්ටිවල මුද්‍රා පරික්ෂා කරන්න පුළුවන්. සෑම ගණන් කිරීමේ මධ්‍යස්ථානයකම එක් එක් පිළිගත් දේශපාලන පක්ෂවල නියෝජිතයන් පස් දෙනකුට හා තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක නියෝජිතයන් දෙදෙනකුටත් රැඳී සිටීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ගණන් කිරීමේ කටයුතු ඒ අයට නිරීක්ෂණය කළ හැකියි. ඕනෑම නියෝජිතයකුට පැහැදිලි කිරීමක් අවශ්‍යනම් ගණන් කිරීමේ ප්‍රධාන නිලධාරී විමසන්නට පුළුවන්.

11 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණය පවත්වන තෙක්ම නිහඬ කාලය ක්‍රියාත්මක වෙනවා. ඒ කාලසීමාව තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක්, සිදුකළ නොහැකියි. සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වගේම කිසිම විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍යවලට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ප්‍රවර්ධනය කරන කිසිවක් ප්‍රචාරය කරන දේවල් පළකරන්නට බැහැ. සමහර මාධ්‍ය ගැන පසුගිය දින කිහිපය තුළ අපට යම් යම් පැමිණිලි ලැබුණා. සමහර මාධ්‍ය ආයතනවලට අපට ලිඛිතව හා වාචිකව දැනුම් දීම් සිදුකරන්නට සිදුවුණා. ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සිටින ටෙලිනාට්‍ය හෝ ප්‍රවර්ධනය කළ නොහැකියි. මේ කාල සීමාව තුළ. 12 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට අපේක්ෂකයන් විසින් පවත්වාගෙන යන කාර්යාල ඉවත් කළ යුතුයි. ඒවා ඉවත් කර නැත්තම් පොලිසියට අවශ්‍ය මැදිහත්වීම් කරන්නට වෙනවා. අද දිනයේ සිට විවෘතව තබන්නට පුළුවන් වන්නේ මැතිවරණ බලප්‍ර‍ෙද්ශයටම අදාළ වන පරිදි පවතින එක කාර්යාලයක් පමණයි. අපේක්ෂකයන්ගේ නිවාස, කාර්යාල ලෙස පවත්වාගෙන යා හැකියි. නමුත් ඒ නිවාසවල තිබෙන පෝස්ටර්, කටවුට්, බැනර් ආදිය ඉවත් කළ යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය නිවාඩු ලබාදීම අත්‍යවශ්‍යයි. ඒවා වෙනුවෙන් චක්‍රලේඛ නිකුත් කර තිබෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට දින දෙකක් නිවාඩු ලබා දී තිබෙනවා. පෞද්ගලික විශ්ව විද්‍යාල, ඇඟලුම් කර්මාන්ත ශාලා ආදියෙන් ද එම පිරිස්වලට අවශ්‍ය නිවාඩු ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධිවිධාන යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදා තියෙනවා. ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවෙන්නේ. පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදුකරනවා. දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව. ඒක අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා. එයින් අනතුරුවයි පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් ලබා ගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ. එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත්කර ගැනීම සිදුකරනවා.

ඡන්ද ප්‍රදේශ ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය ඒවා මැතිවරණ කාර්යාලය විසින් නැවත පරික්ෂා කිරීමෙන් පසුව ප්‍රතිඵල ලබාදෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ඡන්ද ගණන් කරන අවස්ථාවේදී මෙන්ම ප්‍රතිඵල නිකුත් කරන අවස්ථාවලදී නිවෙස්වලම රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කණ්ඩායම් වශයෙන් එකතු වී ඡන්ද ප්‍රතිඵලවලට සවන් දීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. එක්රැස්වීම් අයුතු ජන රාශිය යන වරදට ගැනෙන නිසා දඬුවම් ලැබිය හැකියි. එවැනි පිරිස් අත්අඩංගුවට ගත හැකියි. යම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී සිදුවීමක් සිදුවුවහොත් එම ඡන්ද පොළේ ඡන්ද විමසීම ශූන්‍ය කිරීමට මැතිවරණ කොමිෂම පියවර ගන්නවා. විශේෂයෙන්ම නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා තිබෙනවා. ඒ වගේම ඕනෑම හදිසි අවස්ථාවක කැඳවීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සූදානමින් සිටිනවා. ඡන්දය පාවිච්චි කිරීමෙන් පසුව නිවෙස්වල රැඳී සිටින්න. ඔබ විසින් ප්‍රකාශ කරන ලද ඡන්දය නිවැරදිව ගණන් කිරීම මැතිවරණ කොමිෂන් සභාව බැඳී සිටිනවා. ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාව කෙරෙහි විශ්වාසය තබන්න.

ආරක්ෂක අංශ අවශ්‍ය ආරක්ෂාව සපයනවා. සියලු කටයුතු අවසන් වීමෙන් පසු ඡන්ද අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන තෙක් කටකතාවලට නොරැවටෙන්න. නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක්. ඡන්දය ඔබේ අයිතියයි.

විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ ඡන්ද විමසීම් දිනයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව සහ ඡන්ද ගණන් කිරීම සිදුවන අවස්ථාවේ දී නිවෙස්වල රැඳී සිටින ලෙසයි. කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහා මාර්ගයේ රැඳී නොසිටින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ටීවී හෝ විශාල තිර යොදා ගෙන ජනතාව එක් රැස් වී රූපවාහිනී වැඩසටහන් නැරඹීම, ප්‍රතිඵල විකාශය වන අවස්ථාවන්වල දී ඒකරාශී වී රතිඤ්ඤා පත්තු කිරීමෙන්, ආලෝකය සහිත බැලුන් ගුවනේ පා කිරීම වැනි කටයුතු නීතියෙන් තහනම් වන අතර එවැනි එක් රැස්වීම් අයුතු ජනරාශී වරදට ගැනෙන හෙයින් ආරක්ෂක අංශ මඟින් විසුරුවා හැරීමට හෝ අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා.”