මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපති මහාචාර්ය තිලක් හේවාවසම්

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පත් කර තිබේ. ඒ මහතා පසුගියදා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව (Geology) පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඔහු එම විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසරත්ව කේන්ද්‍රයේ (Center for Environmental Sustainability (CES), University of Peradeniya) අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.ඒ මහතා 2003 වර්ෂයේ දී ස්විට්සර්ලන්තයේ බර්න් (Berne) විශ්වවිද්‍යාලයෙන් භූ රූප විද්‍යාව හා පෘෂ්ඨීය භූ රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (Ph.D. in Geomorphology and Surface Geochemistry, University of Berne, Switzerland) ලබා ඇත. මෙයට අමතරව තිලක් හේවාවසම් මහතා ජර්මනියේ GFZ පර්යේෂණ ආයතනය නොහොත් “භූ විද්‍යාව සඳහා වන ජර්මානු පර්යේෂණ ආයතනයේ” (German Research Centre for Geosciences) පර්යේෂණ අංශයේ ද, එක්සත් රාජධානියේ ග්ලස්ගොව් (Glasgow) විශ්වවිද්‍යාලයේ ද “පශ්චාද් ආචාර්ය උපාධි අධ්‍යයන” (Post Doctoral Fellowship) ද්විත්වයක් සිදු කර තිබේ.

ඔහු 1996 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය (M.Phil. in Geology, University of Peradeniya) ලබාගෙන තිබේ. භූ විද්‍යාව පිළිබඳ දෙවන පෙළ ඉහළ සමාර්ථයක් සහිතව 1994 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී විශේෂ උපාධිය (B.Sc. Special (Hons) in Geology, Second Class (Upper) division, University of Peradeniya) ලැබූ ඒ මහතා මෙරට “ජාතික මූලික අධ්‍යයන ආයතනයේ” භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ තනතුරු රාශියක් දරා ඇත.