ඉස්ලාම් දහමට සහ මුහම්මද් නබිතුමාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ ලෝක ප්‍රකට සාහිත්‍යකරු සල්මාන් රුෂ්ඩිගේ ‘සැටනික් වර්සස්’ කෘතිය ආනයනය කිරීම තහනමට ලක් කරමින් වසර 1988 දී ඉන්දීය අධිකරණයකින් ලබා දුන් නියෝගය අතුරුදන් වී ඇතැයි පසුගියදා නවදිල්ලි නුවර මහාධිකරණයේදී හෙළිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව එම තහනම තවදුරටත් වලංගු නොවන බව නවදිල්ලි මහාධිකරණයේ අදහස වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ කරුණු අනාවරණය වී ඇත්තේ මීට වසර ගණනාවකට පෙර ‘සැටනික් වර්සස්’ කෘතියෙහි පිටපතක් සොයා ගැනීමට උත්සාහ කළ බටහිර බෙංගාල වැසියකු එම කෘතිය වෙළෙඳපොළේ නැති බවත්, එය ආනයනය කිරීම තහනම් කර ඇති බවත් දැන ගැනීමෙන් පසුව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම තහනම නියෝගයේ පිටපතක් ඉල්ලා සිටියද, බලධාරීන් එය නිකුත් කිරීමට අසමත්වීම හේතුවෙන් අධිකරණයට යෑම හේතුවෙන් බව ද වාර්තා වේ. කෘතිය තහනම් කිරිම සිය කියැවීමේ නිදහසට බලපෑ බවට එම බටහිර බෙංගාල ප්‍රාන්ත ජාතිකයා නවදිල්ලි නුවර මහාධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත්තේ 2019 වසරේදීය.
එතැන් සිට වසර 5ක් පුරා සැටනික් වර්සස් කෘතියෙහි තහනම් නියෝගය නවදිල්ලි මහාධිකරණයට ඉදිරිපත් කිරීමට බලධාරීන් අසමත්වීම හේතුවෙන් පසුගියදා මහාධිකරණය තීන්දු කර ඇත්තේ තහනම් නියෝගය අතුරුදන්වීම හේතුවෙන් එම තහනම තවදුරටත් බලාත්මක බවට නිගමනය කළ නොහැකි බවය. එබැවින් එම කෘතියෙහි පිටපතක් ගෙන්වා ගැනීමට සිය නීතිඥවරයාගේ උපදෙස් මත කටයුතු කරන ලෙස මහාධිකරණය අදාළ පැමිණිලිකරුට උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.