ගාසා තීරයේ යුද ගැටුම් සිදුවූ පළමු මාස 6 ඇතුළත මියගිය පුද්ගලයන්ගෙන් 70%ක්ම දරුවන් සහ කාන්තාවන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්ම ක්‍රමානුකූලව උල්ලංඝනය කිරීමක් බව ද එම වාර්තාවෙන් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම හෙළිදරව්ව ගාසා තීරයේ බොහෝ පළාත්වල මානුෂීය තත්ත්වයන් ශීඝ්‍ර ලෙස පිරිහීමකට ලක්වීම සහ වසරකට වැඩි කාලයක් ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් සිවිල් වැසියන් විශාල පිරිසක් ඝාතනය වීම සම්බන්ධව සිදු කළ අනතුරු ඇඟවීමක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ගාසා තීරයට අඛණ්ඩව ප්‍රහාර එල්ල වීම සහ සිවිල් වැසියන් ඝාතනය විමට ඊශ්‍රායල හමුදාව තෝරාගත් නොසැලකිලිමත් යුද උපක්‍රම හේතුවී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තහවුරු කරනු ලැබූ මරණවලින් 80%ක්ම නේවාසික ගොඩනැඟිලි හා ඒ හා සමාන නිවාසවලින් වාර්තා වන බවත්, එම මරණ අතුරින් දරුවන් 44%ක් සහ කාන්තාවන් 26%ක් ගාසා යුද්ධයේ පළමු මාස 6 ඇතුළත සිදුවී ඇති බව තහවුරු වී ඇතැයි ද වාර්තා වේ. යුද ගැටුම් සම්බන්ධව පවතින ජාත්‍යන්තර මානව හිමිකම් මූලධර්මවලට අනුකූලව කටයුතු කිරීමට ඊශ්‍රායල හමුදාව අසමත්වීම එම මරණවලට හේතු වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෝල්කර් ටර්ක් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.