පරිගණක 167ක් ජංගම දුරකතන 61ක් පොලිස් භාරයට
වැල්ලවත්ත හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් විදේශීය ජාතිකයන් ඉලක්ක කර අන්තර්ජාලයෙන් මුදල් වංචා කිරීමේ යෙදී සිටි සංවිධානාත්මක කණ්ඩායමක නීතිඥවරියක්, ගැබිනි කතුන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 59 දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙහි ප්‍රධාන සැකකාරිය වන නීතිඥවරිය සහ ප්‍රධාන සැකකරු වන කළමනාකරු හෙට (12) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සෙසු සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.
සැකකරුවන් අතර ගැබිනි කාන්තාවන් දෙදෙනකු ඇතුළු කතුන් 23ක්ද සිටි බව පොලීසිය සඳහන් කරයි.
මෙහි අධ්‍යක්ෂවරිය බව කියන නීතිඥවරිය කොළඹ 7 පදිංචි 52 හැවිරිදි අයෙක් වන අතර කළමනාකරු ලෙස කටයුතු කර ඇත්තේ රාගම පදිංචි 40 හැවිරිදි පුද්ගලයකු බවද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් ශ්‍රී ලාංකිකයන් බවද පොලීසිය පවසයි. එම නිවසේ තිබී පරිගණක 167ක් හා ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 61ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. එම පරිගණකවල තිබී ව්‍යාජ ලිපි ලේඛන රාශියක්ද පොලිස් භාරයට ගෙන ඇත. මෙරට ක්‍රියාත්මක ආයතනයක් මඟින් කොරියාවේ පදිංචි කොරියන් ජාතිකයකුගෙන් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොරියන් තානාපති කාර්යාලය ඉකුත් 30 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ ආයතනය වැල්ලවත්ත හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ 40 වැනි මහලේ පවත්වාගෙන යන බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. ඒ අනුව මේ සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දී ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදුකළ බවද පොලීසිය සඳහන් කරයි. විමර්ශන නිලධාරීන් එම මධ්‍යස්ථානය කරා ඇතුළු වන විට පරිගණකවල සම්බන්ධතා සියල්ල අක්‍රිය කර තිබූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේවත් නොමැති ආරක්ෂාවක් එම ස්ථානයේ තිබී ඇතැයි ද පොලීසිය කියයි.
මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී, තොරතුරු තාක්ෂණ රැකියාවට යැයි පවසමින් ඔවුන්ව බඳවා ගෙන මුර ක්‍රමයට සේවයට කැඳවා ඇති බවට තොරතුරු හෙළිවූ බව පොලීසිය සඳහන් කරයි. මෙම ප්‍රධාන සැකකරුවන් අනෙක් තරුණ සැකකරුවන්ව රැකියාවට බඳවා ගෙන ඇත්තේ, තොරතුරු තාක්ෂණය පමණක් නොව කොරියන් ජර්මන් හා ජපන් භාෂාව හැසිරවීමේ හැකියාව සම්බන්ධයෙන් ද සලකා බැලීමෙන් පසුව බව ද පොලීසිය කියයි. ඒ අනුව මෙම සැකකාර තරුණ තරුණියන් අතර භාෂා පහක් පමණ හැසිරවිය හැකි අය ද වන බව පොලීසිය සඳහන් කරයි. අදාළ නිවෙසේ අභ්‍යන්තරය කොටස්වලට බෙදා ඔවුන්ව විවිධ ස්ථානවලට යොමුකර බාහිර පුද්ගලයන් සමඟ සබඳතා නොපවත්වන ලෙස දැනුම් දී මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙරට ආයෝජනය සඳහා විදේශිකයන් සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් රුපියල් 50,000/= වැටුපට අමතරව කොමිස් මුදලක් ලබා දුන් බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි ද පොලීසිය කියයි.
ඒ අනුව මෙහි සේවය කරන ඇතැම් පිරිස් රුපියල් ලක්ෂ 1 – 1/2 සිට 6 දක්වා මාසිකව වැටුප් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී හෙළි වූ බව පොලීසිය සඳහන් කරයි.
මෙම ස්ථානයේ සේවය කළ තරුණ තරුණියන් මෙම ජාවාරම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැනගෙන නොසිටි බවට සැක කරන බව පොලීසිය කියයි. සමාගම් මැඳුරේ ලියාපදිංචි වී ඇති මෙම ආයතනය සිදුකළ මෙම වංචාව සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ නිලධාරීන් ද පුදුමයට පත් වූ බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරියෙක් පැවසීය. විදේශීය රටක සිට මෙම ජාවාරම මෙහෙයවන බවත් විදේශික පුද්ගලයන් ඉලක්ක කර එහි ප්‍රධාන කඳවුර ලෙස හැව්ලොක් පාරේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ මෙම නිවස පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත. මෙම නිවසේ මාසික කුලිය රුපියල් ලක්ෂ අනූවක් එම වන බවටද විමර්ශනවලදී හෙළි වී තිබේ.
අදාළ නිෙවස වැටලීමත් සමඟම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ සැකකාරිය තවත් ස්ථාන තුනක සිදු කරන මෙවැනි ජාවාරම්වලට අදාළ පරිගණක සහ ජංගම දුරකතන ඉවත්කර ඒවා වසා දමා ඇති බවත් එහි සේවකයන්ට රැකියාව සඳහා නොපැමිණෙන ලෙසට දැනුම් දී ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.