ඊශ්රායල් රැකියාවලට කිසිවකුට මුදල් ලබා නොදෙන ලෙස විදේශ රැකියා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි. රැකියා ලබාදෙන බව පවසා වංචනිකව මුදල් ලබාගන්නා පිරිසක් මේ දිනවල විවිධ ස්ථානවල ජාවාරම්වල නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන් පිළිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙක් දිනමිණට පැවැසීය.
2024 ජනවාරි මස සිට මේ දක්වා ශ්රී ලාංකික සාත්තු වෘත්තිකයන් 929ක් ඊශ්රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර ඊශ්රායලයේ නිවාස පාදක කරගත් සාත්තු සේවා රැකියා අවස්ථාව හිමි වූ තවත් 16කට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදුවිය. ඊශ්රායල් සාත්තු සේවා රැකියා හිමි වූ 139 වන කණ්ඩායම මොවුන් වේ.
ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා අංශයේ රැකියා අවස්ථාව ශ්රී ලාංකිකයන්ට හිමිවන්නේ දෙරට අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්රායලයේ සාත්තු සේවා රැකියා අංශයේ රැකියා අවස්ථා ලබා ගැනීමට කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට මුදල් දීමෙන් වළකින ලෙස ද ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.