ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදා අතර පැවැත්වූ 34 වන අන්තර්ජාතික මුහුදු සීමා රැස්වීම, පසුගියදා (06) කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී, ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාවේදී සාර්ථකව නිමාවට පත්විය. දෙරටේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීමෙන් ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග ජය ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම උදෙසා මේ රැස්වීම වාර්ෂිකව පවත්වනු ලබයි.
34 වන වරට පවත්වන ලද මෙවර රැස්වීමට ශ්‍රී ලංකා නාවික හමුදා දූත පිරිස උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජගත් කුමාරගේ ප්‍රධානත්වයෙන් සහභාගි වූ අතර, ඉන්දීය නාවික හමුදා දූත පිරිස ඉන්දියාවේ තමිල්නාඩු සහ පුදුචෙරි නාවික ප්‍රදේශයේ ධජ නිලධාරි රියර් අද්මිරාල් රවි කුමාර් දින්ග්‍රා (Rear Admiral Ravi Kumar Dhingra – Flag Officer Commanding Tamil Nadu and Puducherry Naval Area) ගේ ප්‍රධානත්වයෙන් සහභාගි විය.
නියෝජ්‍ය ආඥාපති උතුරු නාවික පෙදෙස කොමදෝරු ජයන්ත බණ්ඩාර, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු අරුණ වීරසිංහ ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගි වී සිටියහ.