ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 1996ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.
අදියර තුනක් යටතේ මෙම නිවාස ලබා දීම සිදු කරනු ලබන අතර පළමු අදියර යටතේ මොරටුවේ නිවාස 575ක්, කොට්ටාවේ නිවාස 108ක්, දෙවැනි අදියර යටතේ දෙමටගොඩ නිවාස 586ක්, මහරගම නිවාස 112ක් හා තුන්වන අදියර යටතේ පෑලියගොඩ නිවාස 615ක් ඉදිකිරීමට නියමිතව ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා චීන රජය මඟින් නම් කර ඇති ලංසුකරුවන් 08 දෙනකු වෙතින් ලංසු කැඳවා තිබේ. එම ලංසු ඇගැයීමෙන් පසුව තාක්ෂණික ඇගැයීම් කමිටුව සහ ඇමැති මණ්ඩලය මඟින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි කොන්ත්‍රාත්තු ප්රදානය කිරීමට ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් ඇමැති විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව පළමු අදියරේ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Railway 25th Bureau Group Co. Ltd වෙත ප්රදානය කිරීමටත් දෙවැනි අදියරේ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s China Harbor Engineering Company Ltd වෙත ප්රදානය කිරීමටත් තෙවැනි අදියරේ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව M/s Shanxi Construction Investment Group Co. Ltd වෙත ප්රදානය කිරීමටත් අනුමැතිය හිමිව තිබේ. මේවා තට්ටු නිවාස වන අතර ඒ සඳහා ඉඩම් වෙන් කරගෙන තිබෙන බවත් චීන සමාගම් මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවන බවත් ඇමැති විජිත හේරත් මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.