විවෘතභාවය පුළුල් කරමින් ලෝකයට වඩාත් වැඩි අවස්ථා ගෙන ඒමට චීනය සූදානම්

චීනය සිය විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සිය ‍විශාල වෙළඳපොලෙන් ලෝකයට අවස්ථා ගෙන දෙනු ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පවසනවා.

ෂැංහයි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හා හොන්ග්චියාඕ ජාත්‍යන්තර ආර්ථික සංවාදයේ ප්‍රධාන දේශනය කරමින් චීන අගමැතිවරයා මේ බව සඳහන් කළා.

ඔහු පෙන්වාදෙන්නේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීම, සිය රට ලෝකයට ඇති විවෘතභාවය පුළුල් කිරීම හා සහයෝගතාව පිළිබඳ චීනයේ ගැඹුරු ප්‍රතිඥාව ලෝකය වෙත පිළිබිඹු කරන්නක් ලෙසයි.

2018 වසරේ පැවති පළමු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය චීනය ලෝකය වෙත පිරි නැමූ එක් දිශාගත ආරාධනාවක් බවත්, පසුව එය චීනය හා ලෝකය අතර අ‍න්‍යෝන්‍ය ප්‍රතිඥාවක් බවට පත්වී විවෘතභාවයේ හා සහයෝගතාවේ අපේක්ෂාවක් වී ඇති බවත් චීන අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

එලෙස විවෘතභාවයේ සම්මුතීන් ශක්තිමත් කිරීමේ වැදගත් බව පෙන්වාදුන් ලී ච්‍යන් මහතා සඳහන් කරන්නේ සියළු පාර්ශ්ව ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටිය වෙත අනුගත වීමේ අවශ්‍යතාවය වැදගත් වන බවයි.

එහිදී බහුපාර්ශ්වික හා ද්වීපාර්ශ්වික ආර්ථික හා වෙළඳ ගිවිසුම් අවංක ලෙස සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ද චීන අගමැතිවරයා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම චීනය ආයතනික විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් උසස් මට්ටමේ ආර්ථික හා වෙළඳ රෙගුලාසි සමග සක්‍රීයව බද්ධ වනු ඇති බවද අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පෙන්වාදී ඇති අතර ලෝක ‍වෙළඳ සංවිධානය සමග බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය දැඩිව සුරකිමින්, සංවර්ධනය වෙමින් පවතින රටවලට‍ ගෝලීයකරණයේ වඩා වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමට චීනය සහාය වනු ඇතැයි ද චීන අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ජාත්‍යන්තර ආර්ථික සංවිධානවල සියළු පාර්ශ්ව සමග අඛණ්ඩව සමීප සම්බන්ධීකරණ හා සහයෝගතා පැවැත්වීමට චීනය සූදානම් අතර සංවර්ධන එකඟතාව සඳහා ආයෝජන පහසුකම් සැලසීම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙරමුණ ගැනීමට ද සූදානම් බවයි චීන අගමැතිවරයා ප්‍රකාශ කරන්නේ.

මේ අතර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ඇමතූ විදෙස් නායකයින් සහ ජාත්‍යන්තර සංවිධනාවල ප්‍රධානීන් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් වැදගත් ජාත්‍යන්තර වේදිකාවක් බවට පත්ව ඇතැයි පෙන්වා දී තිබීම ද වඩාත් කැපී පෙනෙන්නක්.