හසීනා හිතවාදී ‘ජාතිය පක්ෂ’ මූලස්ථානයට විරෝධතාකරුවෝ ගිනි තබති

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජයේ පාර්ශ්වයක් ලෙස කටයුතු කළ එරට ජාතිය පක්ෂයේ ඩකා නුවර පිහිටි මූලස්ථානයට විරෝධතාකරුවන් පිරිසක් පහරදී ගිනි තබා ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. හසීනාගේ විරෝධතාකරුවන් බංග්ලාදේශයේ හිටපු ජනාධිපති හුසේන් මොහොමඩ් එර්ෂාද් විසින් එවකට ආරම්භ කරනු ලැබූ ජාතිය පක්ෂයේ කාර්යාලයට ගිනි තබා ඇත්තේ හසීනාට පක්ෂව රැලියක් පැවැත්වීමට තීරණය කළ බව එම පක්ෂය පසුගියදා නිවේදනය කිරීම හේතුවෙන් බව බංග්ලාදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වුවද පක්ෂ මූලස්ථානයට පහර එල්ල වීමෙන් පසු නැවත නිවේදනයක් නිකුත් කරමින් ජාතිය පක්ෂයේ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ එම රැලිය දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කළ බවය.

ජනතා ඒකරාශිවීම් සහ රැස්වීම් පැවැත්වීම ඩකා අගනුවර පොලිසිය විසින් තහනම් කරනු ලැබීම හේතුවෙන් සිය පක්ෂය විසින් පැවැත්වීමට සූදානම් වූ රැලිය කල් දැමු බව ජාතිය පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය.