නාවික හමුදා කාන්තාවෝ අපරාජිතව සිව්වැනි ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කාන්තා ආරාධිත අන්තර් සමාජ එක්දින මේජර් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව පිට පිට සිව්වැනි ජය වාර්තා කිරීමට නාවික හමුදා කාන්තා පිල සමත් වෙයි. පෙරේදා වැලිසරදී පැවති ටැමිල් යූනියන් සමඟ තරගයෙන් නාවික හමුදාව ලකුණු 231ක දැවැන්ත ජයක් අත් කර ගත් අතර, එහිදී නාවික හමුදා කාන්තා පිලෙන් අර්ධ ශතක 3ක් වාර්තාවීම කැපී පෙනිණි.

ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 107කදී හතරේ පහර 9ක් සමඟ ලකුණු 86ක්, හසිනි පෙරේරා පන්දු 78කදී හයේ පහර 2ක් හතරේ පහර 2ක් සමඟ ලකුණු 59ක් හර්ෂිතා මාධවී සමරවික්‍රම පන්දු 52කදී හතරේ පහර 3ක් සමඟ ලකුණු 51ක් ලබා දස්කම් දැක්වූහ. මේ තරගයේදී නාවික හමුදාවේ රශ්මි සිල්වා ලකුණු 12කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වූවාය.

යුද හමුදාව සහ කෝල්ට්ස් අතර තරගයේදී ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට යුද හමුදාව ලකුණු 197ක ජයක් වාර්තා කළේය. නිලක්ෂිකා ද සිල්වා පන්දු 63කදී හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 90ක් හා ඉමල්කා මෙන්ඩිස් පන්දු 89කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 78ක් රැස් කළහ. කෝල්ට්ස් පිලේ කඩුලු 5ක් ලකුණු 3කට බිඳ හෙළූ නිමාෂා මධුෂාණි විශිෂ්ට පන්දු යැවීමක නිරත වූවාය.

එන්සීසී ක්‍රීඩාංගණයේ පැවති එන්සීසී සහ ගාල්ල කාන්තා ක්‍රිකට් පිල අතර තරගයෙන් එන්සීසීට කඩුලු 9ක ජයක් අත්වූ අතර, එහිදී ගාල්ල පිල ඕවර 41කදී ලකුණු 71කට සීමා කරමින් රශ්මි තාරුකා ලකුණු 16කට කඩුලු 4ක් බිඳ හෙළූ අතර, හර්ෂණී විජේරත්න හා විශ්මි සොයිසා කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඒස් කැපිටල් කඩුලු හතරකින් කුරුණෑගල යූත් පරාජය කළ අතර ඒස් කැපිටල් නායිකාව ජනාදි අමාලි පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දක්වා කඩුලු 2ක් හා නොදැවී ලකුණු 28ක් රැස් කළාය. එයට අමතරව ඒස් කැපිටල් පිලේ දෙවගි ජෙගනාදන් ලකුණු 22කට කඩුලු 4ක් බිඳ හෙළූවාය. එස්එස්සී කාන්තා පිල මෙවර තරගවාරයේ පළමු ජය වාර්තා කරමින් බීආර්සී පිල කඩුලු 8කින් පරාජය කළේය. එස්එස්සී පිලේ නදීෂා දිල්රුක්ෂි හා නිරාෂා ගිම්හානි කඩුලු 3 බැගින් බිඳ හෙළා ගත්හ.

හම්බන්තොටදී පැවති හලාවත මේරියන්ස් හා සීසීසී තරගය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවූ අතර, හලාවත මේරියන්ස් පිලේ සුමුදු නිසංසලා නොදැවී ලකුණු 84ක් හා කාව්‍යා කවිඳි නොදැවී ලකුණු 55ක් වාර්තා කළහ. පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවති ගුවන් හමුදා හා පාණදුර තරගය අයහපත් කාලගුණය හේතුවෙන් පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට සිදු විය.