බදුල්ල – මහියංගණය මාර්ගයේ අඹගහඔය වංගුවේදී සිසුවියන් දෙදෙනකුට මරණය ගෙන දෙමින් අනතුරට ලක්වූ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ගමන් කරමින් සිටි බස් රථය එම අනතුර සිදු වන විට පැදවූ රියැදුරාගේ රියැදුරු බලපත්‍රය බීමතින් රිය පැදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස පහක කාලයකට අධිකරණය මඟින් අත්හිටුවා තිබී ඇති බව විමර්ශනවලින් අනාවරණය වූ බව බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා සඳහන් කළේය. “තවමත් රියැදුරා සිටින්නේ රෝහල්ගතවයි. බදුල්ල රෝහලේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. පරීක්ෂණවලදී අපිට හමු වූණා රියැදුරුගේ රිය බලපත්‍රය. එය ඩුප්ලිකේට් එකක්. ඒ නිසා අපි ඒ ගැන ටිකක් සොයා බැලුවා. එහිදී අනාවරණය වුණා පසුගිය ජූලි 24 වැනිදා අක්මීමණදී ඔහු බීමතින් යතුරුපැදියක් ධාවනය කර පුද්ගලයකු හප්පා පලා යෑමක් සම්බන්ධයෙන් පොලීසියට හසුවී ඇති අයකු බවට අධිකරණයට ඔහුව ඉදිරිපත් කරල තිබුණා. එහිදී අගෝස්තු 06 වැනිදා රියැදුරු බලපත්‍රය මාස 05කට අධිකරණයෙන් තහනම් කරලයි තියෙන්නේ. අපි සැක කරනවා අධිකරණයෙන් රියැදුරු බලපත්‍රය තහනම් කළාට පස්සේ ඔහු මෙම රියැදුරු බලපත්‍රය හොරට හදාගෙන තිබෙන බවට. රියැදුරුගෙන් මේ ගැන ප්‍රශ්න කර සැබෑ තත්ත්වය අනාවරණය කර ගැනීමට තිබෙනවා” යැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා සඳහන් කළේය.
මෙම රියැදුරා ව්‍යාජ තොරතුරු සපයා වෙනත් තාවකාලික බලපත්‍රයක් ලබාගෙන ඇති බව ඊයේ (05) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදි තොරතුරු අනාවරණය විය. අක්මීමණ පොලිස් වසමේ ලබුදූව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් මෙම රියැදුරුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇත්තේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයටයි. රුපියල් 5,000ක දඩයක් නියම කරමින් ඔහුගේ රියැදුරු බලපත්‍රය මාස පහකට අත්හිටුවා ඇත්තේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය විසිනි.
උඩුගම පදිංචිකරුවකු වන මෙම රියැදුරා සිය රියැදුරු බලපත්‍රය නැති වූ බවට උඩුගම පොලිසියේ අසත්‍ය පැමිණිල්ලක් දමා එක්දින සේවාව යටතේ රියැදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බව සඳහන්ය.
අක්මිමණ පොලීසිය මෝසමක් මඟින් ඊයේ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මේ පිළිබඳ කරුණු වාර්තා කළේය. එහිදී ඉදිරිපත්වූ සියලු කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය එම රියැදුරු බලපත්‍රය අදාළ රියැදුරුට මුදා නොහැර අධිකරණය භාරයේ රඳවා තැබීමට නියෝග කළාය.
අක්මීමණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මධුරංග අරුමප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් මහතා අධිකරණයට කරුණු වාර්තා කළේය.