විශ්‍රාම ගිය පසුවත් ජනතා මුදලින් යැපෙන දේශපාලන සංස්කෘතිය අවසන් කරනවා – ජනපති බදුල්ලේදී කියයි

ජනපතිගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රී දක්වා යහපත් දේශපාලන ප්‍රමිතියක්

තමන්ට අවශ්‍ය විදියට රට පාලනය කරන යුගය අවසන්

සෑම දරුවෙක්ම හැකියාව නිපුණතාව සහිත දරුවෙක් පාසලෙන් එළියට


බලයේ සිටින විටත් මහජනයාගෙන්ම යැපිලා, විශ්‍රාම ගිය පසුත් මහජන මුදලින් යැපෙන දේශපාලන සංස්කෘතිය අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේදී පැවසීය.

ජනාධිපතිවරයාගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා යහපත් දේශපාලන ප්‍රමිතීන් සකස් කරන බවද ජනාධිපතිවරයා කීවේය.

“රට හදන අපි එකට මාලිමාවට” මැයෙන් පැවැති බදුල්ල දිස්ත්‍රික් ජනතා රැලියට පෙරේදා (03) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශීය සභා හරහා තමයි මේ දේශපාලන බලය ගොඩනැඟෙන්නේ. ගමේ ප්‍රශ්න විසඳන්න, රටට විනයක් හදන්න, රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න සමීප දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. දේශපාලන නායකත්වයක් තිබෙන තැන්වලින් අපට තවම බහුතර බලයක් නැහැ. අපට දැනට තිබෙන්නේ ජනාධිපති පුටුව පමණයි. පාර්ලිමේන්තු බලය තවම නැහැ.ඒ නිසා මේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයේ විශාල පිරිසක් පාර්ලිමේන්තුවට එවිය යුතුයි. ඒකට විපක්ෂයෙන් ගිහින් හරියන්නේ නැහැ. ඒකට යන්න ඕනෑ ආණ්ඩු පක්ෂයෙන්. මේ සැරේ බලවත් ආණ්ඩුවක් හැදිය යුතුයි. අපගේ සැලසුම් ප්‍රාදේශීය වශයෙන් ඉදිරියට ගෙනයෑමට එවැනි බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. අපේ රටට යහපත් දේශපාලන විනයක් අවශ්‍යයි. අප හැමදෙනාම නාස්තිය අවම කරමින්, දූෂණය අවම කරමින් රටේ ජනතාව බලා ගනිමින් කටයුතු කරනවා.

ඇමැතිවරුන්ට ලබාදී තිබෙන වරප්‍රසාද අපි ඉවත් කරනවා. ඉන්න ජනාධිපතිවරණයාට පමණක් නොවෙයි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාදත් අවම කිරීමට අප කටයුතු කරනවා. මහජන ධනය නිරපරාදේ වියදම් කිරීමට අප ඉඩ තියන්නේ නෑ. ඒ සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කරනවා.අපි කිසි කෙනෙකුගෙන් පළිගන්නවා නොවෙයි.යහපත් දේශපාලන ප්‍රමිතියක් සකස් කරනවා.එහෙම ප්‍රමිතියක් ඕනෑ නේද? තමන්ට රිසි සේ රට පාලනය කරන යුගය අපි අවසන් කරනවා. ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා යහපත් දේශපාලන ප්‍රමිතීන් සකස් කරනවා. දැනට තිබෙන අයාලේ යන දේශපාලනය ප්‍රමිති ගත කරනවා. දැනට තිබෙන පාර්ලිමේන්තු ප්‍රමිතියෙන් තොර පාර්ලිමේන්තුවක්. මුදලට විකිණෙන මන්ත්‍රීවරු ඉන්න, අපරාධකරුවන් ඉන්න පාර්ලිමේන්තුවක්. මෙවැනි පාර්ලිමේන්තුවක් ප්‍රමිති ගත කරන්න ඕනෑ.

මහජනයාගෙන්ම යැපිලා, මහජන ධනයෙන් ගත් වාහන පැරදිලා යන විටත් අරගෙන යනවා. මේ පරපුටු දේශපාලනය නවත්තන්න ඕනෑ.ඒ සඳහා පාර්ලිමේන්තු බලය ඇති කිරීමට බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ පිරවිය යුතුයි.

ගැඹුරුතම ආර්ථික අර්බුදයට ලක්වී තිබෙන රටක් අපට දුන්නේ. ඒ නිසා මේ ආර්ථික තත්ත්වය යටතේ ජනතාවගේ අවශ්‍යතා ලබාදෙමින් පවත්වාගෙන යෑම තමයි අපි මේ කාලයේ කළේ. මේ දින ගණනට ආයෝජකයන්ගේ විශ්වාසය, ගොවි ජනතාවගේ විශ්වාසය, ධීවර ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අප සමත් වුණා. ඩොලරය තුන්සීයට අඩුවෙන් පවත්වාගෙන යෑමට අප සැලසුම් හැදුවා.ගෑස් හිඟයකින් තොරව ලබාදීමට අපි සැලසුම් හැදුවා. ආර්ථිකය කඩා නොවැටි ඉදිරියට යෑමට අප මැදිහත් වී තිබෙනවා. පාර්ලිමේන්තු බලයත් සමඟ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කිරීමට අපි සැලසුම් සකස් කර තිබෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට, රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමට, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමට, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට අප සැලසුම් සකස් කර තිබෙනවා.2025 වසර ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණි වසර බවට අප පත් කරනවා. ආර්ථිකයට පණ පොවන්න අප සැලසුම් හදනවා. ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීමට සැලැස්ම අප සකස් කර තිබෙනවා. අධ්‍යාපනයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. සෑම දරුවෙක්ම හැකියාව නිපුණතාව සහිත දරුවෙක් ලෙස පාසලෙන් එළියට ඒම සඳහා අප වැඩපිළිවෙළක් සකසනවා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කැළි කසළ නැති දකුණු ආසියාවේ හොඳම රට බවට පත් කරනවා. විනයක් ඇති ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා.විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීමට කටයුතු කරනවා. කර්මාන්ත ක්ෂේත්‍රයේ නවෝදයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. කඩා වැටුණු රට, ලෝකය ඉස්සරහ අසරණභාවයට පත්වී තිබුණු රට, යළි පුනරුදය කරා කැඳවීම අප ආරම්භ කර තිබෙනවා. ඩිජිටල්කරණ ව්‍යාපෘතියට මේ රටේ එම ක්ෂේත්‍රයේ ඉහළම දැනුමක් තිබෙන පුද්ගලයා අප සමඟ වැටුප් රහිතව ස්වේච්ඡාවෙන් එකතු වී සිටිනවා. එහෙමයි අප වැඩ කරන්නේ. මේ රටේ ජනතාව සමඟ පොර බදිමින් මේ රට ගොඩනැඟීම සිදු කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි. මේ ආණ්ඩුව රට හදන ගමන් ජනතාව බලාගන්න ආණ්ඩුවක් බවට පත්වී තිබෙනවා. එහෙම ආණ්ඩුවක් කවදාවත් පත් වුණේ නැහැ. අනාගත පරම්පරාව දුක් විඳින්නේ නැති රටක් අපි නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාට එක්වන ලෙස ආරාධනා කරනවා.

ජනාධිපතිවරණයේදී අප ඉතාමත්ම අසීරු කඩයිම පැන්නා. දීර්ඝ කාලයක් තිස්සේ මැතිවරණ තිබුණා. ඒ හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළේ ඒ අයයි.ඒ අය බෙදිලා ඡන්ද කර පස්සේ එකට එකතු වෙලා ආණ්ඩුව හැදුවා. දීර්ඝ කාලයක් එහෙට මෙහෙට දේශපාලන බලය මාරු වුණා. නමුත් පහුගිය ජනාධිපතිවරණයේදී බලය ජනතාව වෙත මාරු වුණා. පසුගිය ජනාධිපතිවරණයේදී බදුල්ලට කොළඹින් නායකයෝ ආවා.ජනාධිපති ආවා. හිටපු ජනාධිපතිලා ආවා. දැන් එනවද? මැයි දිනයට ඇවිත් කිව්වා වතු ජනතාවට රුපියල් 1700ක් දෙනවා කියලා. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරනවා කිව්වා.කළාද? ඒ වගේම ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් වෙන දේවල් පිළිබඳ විශාල අවලාද ප්‍රමාණයක් කිව්වා.ඔවුන් තමන්ගේ අතින් බලය ගිලිහී යෑම වැළැක්වීමට සෑම ශතයක්ම වියදම් කළා. ඒවාට මාධ්‍ය භාවිතා කළා. ඔවුන්ගේ අතේ බලය තියාගන්න උපරිම වෙර වීරිය දැම්මා. ඔවුන්ගේ උපරිම බලය පරාජය කර මහජන බලය ඉස්මතු කිරීමට සැප්තැම්බර් 21 වැනි දින සමත් වුණා. දීර්ඝ කාලයක් ඔවුන් අතේ තිබුණු බලය මේ රටේ ජනතාවගේ මැදිහත්වීම මත පරාජයට පත් කළා.ජනාධිපතිවරණයේදී ඒ අය අපට නැඟූ අවලාද නිසාම දැන් වෙන විට වේදිකාවක දේශපාලන ව්‍යාපාරයක් කරන්න බැරි තැනට ඔවුන් පත්වෙලා.මොකද වේදිකාවට නැඟලා ඒ ගොල්ලෝ ඡන්ද ව්‍යාපාරය කරද්දී ජනතාව ඔවුන්ගෙන් අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න විදිහක් නැහැ.ශක්තිමත් දේශපාලන නායකත්වයක් ජනතාවට දෙන්න ඕනෑ යැයි කීවේය.

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික සහ බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂක, සුදත් බලගල්ල මහතා-

පසුගිය කාලයේ අපට මඩ,අවලාද ගසන අය වැඩිහිටි අම්මා, තාත්තලා බය කළා. ඒ වුණාට එයාලගේ පාලනය නිසා මේ වැසි සමයේ අවුරුදු හැත්තෑව, අසූව වුණු අපේ ආදරණීය අම්මලා, තාත්තලාට සහ ආච්චිලා, සීයලාටත් කැත්ත උදැල්ල අරගෙන හේනට යන්න සිදු වී තිබෙනවා. නමුත්, අපේ පාලනයක් තුළ ඒ වැඩිහිටි අම්මා, තාත්තලාට සුවපහසු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය වටාපිටාව, පහසුකම් සලසා දෙනවා. දේශපාලන ඉතිහාසයේ නොවැම්බර් මාසය කියන්නේ අපේ පක්ෂය සුවිශාලම මර්දනයකට ලක් කළ කාලයක්. අපේ පක්ෂයේ හැටදහසකට වැඩි පිරිසක් ඝාතනය කළා. ඒ විරුවන් සමරන ඉල් මාසයයි මේ.අපට වඩා හොඳ ජීවිතයක් ගොඩනඟා දෙන්න බිහිවුණු ආදරණීය සගයන් වද වේදනාවලට ලක් කර ඝාතනය කළා. ඉන් පසුව 1994 සිට අපි ඒ සගයන්ගේ කොඩිය මේ ජයග්‍රහණය දක්වා විවිධ මර්දන සහ අපහාස, අවලාද මැද අරගෙන ආවා.

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික,බදුල්ල දිස්ත්‍රික් අපේක්‍ෂිකා, අම්බිකා සැමුවෙල් මහත්මිය-

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ගොඩනැඟීම අරමුණු කරගෙන සැප්තැම්බර් 21 වැනිදා ලැබූ ජයග්‍රහණය මේ මාසේ 14 වැනිදා තවත් ශක්තිමත් කරන බව මේ ජනතාව දකින විට සහතික වෙනවා. මගේ මව්පියනි, සහෝදර, සහෝදරියනි, සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතිකත්ව සහ සියලු ආගම්වල අප සියලු දෙනා එකම පරමාර්ථයකින් එකමුතු වී රට ගොඩනැඟීමේ ශ්‍රමදානයට එකතු වෙමු කියන පණිවිඩය ඔබ සියලු දෙනාට මා දෙනවා. අවුරුදු හැත්තෑ හයක් පුරා ජාතිවාදය, ආගම්වාදය පතුරුවමින්, අප භේදකර ඔවුන් පාලනය ගෙන ගියා.ඒ තත්ත්වය පරාජය කරමින්, ජාතික ජන බලවේගයේ සෙවණට අප හැමෝම එකතු වී එකමුතුභාවයේ බලය පෙන්වමින්, මේ මාසයේ 14 වැනිදා ජයග්‍රහණය කරනවා.

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, මහ මැතිවරණ අපේක්‍ෂක, දිනදාස රත්නායක මහතා –

මේ වේදිකාවේදී පුංචි කතාවක් කියන්න කල්පනා කළා. දහවල් දොළහෙන් පස්සේ ගමකට හිරු එළිය වැටෙන එක බාධාවක් වී තිබුණු කන්දක් ඉවත් කරන්න ගමේ කිහිපදෙනෙක් විතරක් මුලින් එකතු වුණා.කන්ද කපලා, හිරු එළිය වැටෙන්න සලස්වන්න ඕනෑ බව මුලින්ම කිව්ව පුද්ගලයා කෙරෙහි මුළු ගමේම පිරිස අවඥාවෙන් බැලුවා. නමුත්, ඔහු අවලාද, අවඥා මැද්දේ ඒ කන්ද කපන්න ක්‍රියා කළා. ඒ අතරේ ටික කාලයකට පසුව තවත් පිරිසක් එකතු වී දැවැන්ත ශ්‍රමදානයකට මුලපිරුවා. අන්න ඒ වගේ තමයි අපේ දේශපාලනයත්. ඉදිරියේ තිබෙන දැවැන්ත ශ්‍රමදානයකට සූදානමින් අප වටා එක් වූ මහා සෙනඟක් මෙතැනට රැස් වී සිටිනවා. එළැඹෙන 14 වැනිදා මේ ගමට, මේ රටට, අපේ රටේ සමස්ත ජනතාවට හිරු උදා කිරීමේ දැවැන්ත ශ්‍රමදානයට අපි සූදානමින් සිටිනවා.

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික,‘එන්.පී.පී. කාන්තාවෝ’ සංවිධානයේ විධායක සභික, මැතිවරණ අපේක්‍ෂිකා, නීතිඥ උපේක්‍ෂා විජේතුංග මහත්මිය –

අප සියලු දෙනාම මේ අවස්ථාවේදී එකම ඉනිමඟක කොටස් හැටියට රට ගොඩනැඟීම වෙනුවෙන් ඒකරාශී වී සිටිනවා. ආදරණීය කාන්තාවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ 1931 සර්වජන ඡන්ද බලය ලැබුණුදා ඉඳලා දේශපාලන අයිතිය ලැබුණත්, තවමත් දේශපාලනයේදී දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකීම අවසන් කරන්න එක්වන ලෙසයි. ඒ දෙවැනි පෙළ සිටින කාර්යභාරයක් ඉටු කළ අවසන් කර රට ගොඩනැඟීමේ කාර්යභාරයට ප්‍රමුඛව නායකත්වයක් දෙන්න පෙරට එන ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රබලම ජනාධිපතිවරයෙක් පත් කර ගන්න සැප්තැම්බර් 21 වැනිදා දුන් දායකත්වය තවත් කීහිප ගුණයකින් වර්ධනය කර ගනිමින්, මේ මස 14 වැනිදා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න දායක වෙමු.

ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, ‘අදිටන’ විශ්‍රාමික සාමුහිකයේ බදුල්ල දිස්ත්‍රික් විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්‍ෂක, විශ්‍රාමික නාවික හමුදා කමාන්ඩර්, බණ්ඩාර විස්සුන්ද මහතා-

අහිංසක ජනතාවගේ ඡන්දයෙන් මෙතෙක් බලය ලබා ගත් අය මේ රටේත්, බදුල්ල දිස්ත්‍රික්කයේත් පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳුවේ නැහැ. නමුත්, ජාතික ජන බලවේගයේ අපි මේ වන විටත් බදුල්ල දිස්ත්‍රික්කය සංවර්ධනය කරමින්, ජනතාවගේ ජීවන තත්ත්වයන් උසස් කිරීමට සැලසුම් සකස් කර අවසන්.එම සැලසුම් සහ ප්‍රතිපත්ති වටා පසුගිය ජනාධිපතිවරණයේදීත් ඒකරාශී වූ අය තවත් දෙතුන් ගුණයකින් වර්ධනය කරමින්, බදුල්ල දිස්ත්‍රික්කය ජයගන්නා බව විශ්වාසයි. අප මේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ අබ මල් රේණුවක තරමින්වත් පෞද්ගලික ලාභ, ප්‍රයෝජන අපේක්‍ෂාවෙන් නොවෙයි.මේ ප්‍රදේශයට, රටට ඉටු කළ යුතු වගකීමක් ඉටු කිරීමටයි අප ඉදිරිපත් වී සිටින්නේ. අඹ ඇටයක් සිට වූ සීයා වගේ යුතුකම පමණක් ඉටු කරනවා.

ජාතික ලැයිස්තු අපේක්‍ෂක,මහාචාර්ය රුවන් රණසිංහ මහතා-

මෙතෙක් කාලයක් සංවර්ධනයේ නාමයෙන් ජනතාව රවටා දූෂිත දේශපාලන සංස්කෘතියක් පවත්වාගෙන ගිය තත්ත්වය අවසන් කරන්න පසුගිය 21 වැනිදා අපේ අම්මලා, තාත්තලා ඇතුළු සියලු දෙනා නිර්භීත තීරණයක් ගත්තා. ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ දුක් විඳින ආදරණීය අම්මා, තාත්තලාට හොඳ ආර්ථිකයක් ගොඩනඟා දෙන්න, දූ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න, ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් ලබාදෙන්න අවස්ථාවක් මේ 14 වැනිදා මහමැතිවරණයෙන් උදා වෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක, සමන්ත විද්‍යාරත්න මහතා-

අද වෙන කොට මේ රටේ නිල්, කොළ දේශපාලනය බිම ඇද වැටී හමාරයි. දූෂිත දේශපාලකයන්ගේ කාලය හමාර කර ජනතාවාදී පාලනයක ආරම්භක පරිච්ඡේදය ලියන්න සැප්තැම්බර් 21 වැනිදා පටන් ගත්තා. සාම්ප්‍රදායික දූෂිත දේශපාලනයට මේ මාතෘභූමියේ ඉඩක් නැති බව ස්ථිර කරන දවස මේ මස 14 වැනිදාට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් බදුල්ල පුරවරය සූදානම් කිරීමේ මහා රැලියක් වෙනුවෙන් වැසි නොතකා මේ ජනගඟ එකතු වී සිටිනවා. මේ වේදිකාවේ සිටින අපේක්‍ෂකයන් දොළොස් දෙනා අතුරින් වැඩිම පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත් කරන බව ස්ථිරයි. ඒ වගේම ජාතික ලයිස්තුවේ අපේක්‍ෂක, මහාචාර්ය රුවන් රණසිංහත් මේ වේදිකාවේ ඉන්නවා.