මැතිවරණවලදී ඡන්ද දායකයන්ට අවශ්‍ය දේශපාලන සාක්ෂරතාවය

දේශ­පා­ලන සාක්ෂ­ර­තාව යනු මැති­ව­රණ සහ රාජ්‍ය ක්‍රියා­ව­ලින් අව­බෝධ කර ගැනීම, දේශ­පා­ල­නයේ නියැ­ළෙන ආකා­රය දැන­ගැ­නීම සහ විවිධ දෘෂ්ටි­ ­ණ­යන් ඇග­යීම සඳහා විවේ­ච­නා­ත්මක චින්තන කුස­ලතා ඇතුළු ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට සහ­භාගි වීමට අවශ්‍ය කුස­ලතා සමූ­හ­යයි. දේශ­පා­ලන සාක්ෂ­ර­තා­වය  ති කිරීම සහ වැඩි­දි­යුණු කිරීම වහා කළ යුතුයි. දේශ­පා­ලන සාක්ෂ­ර­තාව ඇති­කි­රීම සඳහා මාධ්‍ය සාක්ෂ­ර­තාව සහ තොර­තුරු සාක්ෂ­ර­තාව ඇති  රීම ඉතා වැද­ගත් වේ.

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින තුන්වන ලෝකයේ රටවල් සාක්ෂරතාවය යනු කියවීමේ හා ලිවීමේ හැකියාව පමණක් වන සංකල්පයක් ලෙස හැඳින්වුවද දේශපාලන සාක්ෂරතාව ඉන් ඔබ්බට ගිය සංකල්පයකි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියෙන් පසු ඔවුන්ගේ ඡන්දයේ වටිනාකම, ඔවුන්ගේ ඡන්දය බලාත්මක වන්නේද, තේරී පත් වූ පුද්ගලයා ඡන්දදායකයින්ගේ අවශ්‍යතා නියෝජනය කරන්නේද යන්න ඇතුළු ඡන්දය ප්‍රකාශ කිරීමේ විවිධ පැතිකඩ හඳුනා ගැනීමේ සම්පූර්ණ ක්‍රියාවලිය දේශපාලන සාක්ෂරතාවයයි.

මේ රටේ ජනතාව සෑම විටම මැතිවරණවලදී තීරණ ගනු ලැබුවේ ප්‍රමාණවත් ලෙස දැනුම්වත් වීමකින් තොරව සහ එම මැතිවරණවලින් පසුව ඔවුන්ට ඇති දේ නොදැන බව කවුරුත් දන්නා කරුණකි. බොහෝ අවස්ථාවලදී ඔවුන් දේශපාලකයන්ගේ පොරොන්දුවලට හසුවී පසුගිය වසර 76 පුරාවටම පැහැදිලි ප්‍රතිවිපාකවලට මුහුණ දුන්හ. එහි අවසානයේ 2022 දී රට බංකොලොත් වී ජනතාවට අපායගාමී තත්ත්වයකට පත්වීමට සිදු වූ අතර එවකට සිටි ජනාධිපතිවරයාට මහජන කෝපය හමුවේ රට හැර යාමට සිදු විය. ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය කොතරම් පහත් මට්ටමක පවතිනවාදයත්, වැරදිකරුවන් ගැලවුම්කරුවන් සේ ඔවුන් ඉදිරියේ ඉතා පහසුවෙන් පෙනී සිටිය හැකිය. ඔවුන් පසුගිය වසර 76 පුරාවටම එය සිදු කර ඇත.

ශ්‍රී ලාංකිකයින්ගෙන් ආසන්න වශයෙන් 92%ක් සාක්ෂරතාව ඇති නමුත්, කියවීමට සහ ලිවීමට හැකි පමණින් යම් රටකට ඒ සියල්ල ඇති බව ඔප්පු නොවේ. දේශපාලනයේ නිරත වීමට යම් අධ්‍යාපනයක්, අවංකභාවය, කැපවීම සහ යහපත් හැසිරීමක් අත්‍යවශ්‍යය‍යි. අපේක්‍ෂකයා කෙතරම් බුද්ධිමත් වුවත් මේ ගුණාංග නොමැති නම් ඔහු හෝ ඇය දේශපාලනයට සුදුසු නොවේ. ජනප්‍රිය නිරූපිකාවක්, නළුවෙක්, නිළියක්, ගායිකාවක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් මැතිවරණයකට ඉදිරිපත් වුණොත් ඔවුන්ට ඉහළම මනාපය ලැබෙන අතර යම් කිසි වරදකට සිරගතව සිට නිදහස් වූ කෙනෙක් වුවත් මැතිවරණයකට ඉදිරිපත් වුවහොත් ඔහුට ද ජය ලැබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන කියවීමක් සහිතව තාර්කික ආකාරයෙන් ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයින්ගේ ප්‍රතිශතය ජනගහනයෙන් 14%ක් පමණ වේ. බොහෝ දේශපාලන පක්ෂ ඔවුන්ගේ දේශපාලන රැස්වීම්වලට පැමිණ, ඔවුන්ගේ කතා අසා සිටි පමණින් ඔවුන්ට ජනතාව ඡන්ද ලබාදෙන බව සිතා සිටී. ඔවුන්ගේ කතා අසා සිටි පමණින්ම මිනිස්සු ඡන්දය දෙන්න හිතන්නේ නැහැ. තර්කානුකූලව තම ඡන්දය පාවිච්චි කිරීමට පවුලෙන් පටන් ගත යුතුයි. එය ඡන්දය භාවිත කරන තම දරුවන්ට පවා ඉගැන්විය යුතුය.

දේශපාලන සාක්ෂරතාව සම්බන්ධයෙන් ගත් කළ ඡන්දදායකයින්ගෙන් 51%ක් කාන්තාවන් වන සන්දර්භය තුළ කාන්තාවන් අතර එය ඉතා අඩුය. මැතිවරණ ඉතිහාසය දෙස බැලූ විට මැතිවරණ දිනයේදී ඡන්ද පොළට ගොස් තමන්ට හුරුපුරුදු පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන බවක් පෙනෙන්නට තිබේ. නැතහොත් පසුගිය රජය පිළිබඳව ඔවුන්ට තිබූ අප්‍රසාදය ප්‍රකාශ කරයි. මේ තීරණ කිසිවක් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශන විශ්ලේෂණය කිරීමෙන් පසු නොගනී. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා පක්ෂය සහ අපේක්ෂකයා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය නිත්‍යනුකූල ලියවිල්ලක් බවට පත් කළ යුතුයි. එබැවින් ප්‍රතිපත්ති ප්‍රකාශය හුදෙක් ව්‍යාජ පොරොන්දුවලින් පිරුණු වෙළඳ දැන්වීමක් නොවිය යුතුය. එහිදී දේශපාලනඥයන්ට ඔවුන් තේරී පත් වූ පසු පොරොන්දු වූ දේ අමතක කළ හැකිය. ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන පක්ෂවල ප්‍රතිපත්ති අතර එතරම් වෙනස්කම් නොමැත. එබැවින් ඡන්දදායකයින්ට ලබා දුන් තොරතුරු මත විශ්වාසය තබා මැතිවරණ සමයේදී දැනුම්වත් තීරණයක් ගත හැකිය. එසේ නොවන්නේ නම්, බොරු මැතිවරණ පොරොන්දුවල දේශපාලන සංස්කෘතිය සහ එකම වර්ගයේ දූෂිතයන් දිගින් දිගටම රට පාලනය කරන එකම දේශපාලකයින් සමූහය කිසිදා අවසන් නොවනු ඇත. මහජනතාවට බලයේ සිටින අයට අභියෝග කර ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැකි ක්‍රමයක් නිර්මාණය කළහොත් මෙම සංස්කෘතිය වෙනස් කළ හැක.

යම් ඡන්ද දායකයෙකු අනුගමනය කරන දේශපාලන පක්ෂය නොගැළපෙන අපේක්ෂකයින් ගෙන එන්නේ නම්, අප අනුගමනය කරන පක්ෂය වෙනස් කළ යුතුය. නමුත් ශ්‍රී ලාංකේය ඡන්ද ලබාදෙන සංස්කෘතියට අනුව එය සිදු නොවේ.

පසුගිය දශක හතක කාලය තුළ ශ්‍රී ලාංකේය ජනතාව විවිධ පක්ෂ සහ නායකයින් මේ රට පාලනය කිරීමට තෝරාගෙන ඇතත් එය රටේ සංවර්ධනයට කිසිඳු උපකාරයක් වී නොමැත. බහුතරයක් ඡන්දදායකයින් මේ පක්ෂ ලබා දෙන මැතිවරණ ප්‍රකාශනය කියවීමට හෝ උත්සහ නොකරයි. පක්‍ෂයේ ආගම සහ ජාතිය මත පදනම්ව ඡන්දදායකයන් ගැඹුරින් බෙදී ඇත. අඩුම තරමින් ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවීමට හෝ රටේ දේශපාලන තත්ත්වය විග්‍රහ කිරීමට හෝ භාවිතයක් තිබිය යුතුය. එවැනි මුලපිරීම් ආගමික නායකයින් සහ විද්වතුන් විසින් මෙහෙයවිය හැකි නමුත් විද්වතුන් පවා රටේ දේශපාලන සංස්කෘතිය ගැන සැලකිල්ලක් නොදැක්වීම මෙයට එක් හේතුවකි.

මහජන නියෝජිතයන් හික්මවීමේ පහසුම ක්‍රමය වනුයේ ඔවුන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමය. තාවකාලිකව ලැබෙන දේශපාලන බලය පෞද්ගලික වාසිය වෙනුවෙන් ක්‍රියාත්මක කර රටේ අනාගතය වනසන, රටේ ජනතාවට වග නොකියන දූෂිතයන් නැවත නැවතත් මහ ජනයාගේ ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට සහ පළාත් පාලන ආයතනවලට පත් කර එවීම, ඒ ඒ මැතිවරණ ආසනවල සහ පොදුවේ ඒ ඒ දිස්ත්‍රික්කයේ බහුතර ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය නොමැතිකම හෙළිදරව් වීමකි.

දේශපාලන වශයෙන් සාක්ෂරතාවයෙන් තොර පුද්ගලයෙකුට ඡන්දය දීමෙන් වැළකී සිටීමට හෝ තවත් කෙනෙක් ඡන්දය දීමෙන් වැළැක්විය හැකිය. ඡන්දය දීමෙන් වැළකී සිටීම ඍජු බලපෑමක් ඇති කළ හැකි අතර, යෝග්‍ය නියෝජනයක් නොමැතිකමට හේතු විය හැක. ඇත්ත වශයෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටීම පාලන තන්ත්‍රයක් කෙරෙහි අප්‍රසාදය සහ වෙනසක් අවශ්‍ය බව ද සංඥා කළ හැකිය.

දේශපාලන සාක්ෂරතාව සියුම් තර්ජනයක් වන්නේ ඡන්දදායකයා වැඩි දැනුමක් ඇති තරමටය. නීත්‍යනුකූල නොවන තීරණවල නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කිරීමට, වගවීම සහ අයිතිවාසිකම් ඉල්ලා සිටීමට දේශපාලන සාක්ෂරතාව අවශ්‍ය වේ. පුරවැසියන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිම ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරයි. දේශපාලන සාක්ෂරතාවය නොමැතිකම, සමාජ මාධ්‍ය මඟින් ඇතිකරන ලද ප්‍රචාරණ ප්‍රවාහයට එරෙහිව ඡන්දදායකයින්ගේ තේරීම්වලට වඩ වඩාත් බලපෑම් ඇති කරයි. එමඟින් තනතුරට සුදුසු නොවන අපේක්ෂකයෙකු තෝරා පත්වේ.

මෙරට සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවතිය ද ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක පවතින බව නොරහසකි. මේ නිසා දේශපාලකයන්ට ජනතාව රැවටීමට තවමත් ඉඩ තිබේ. ඊට හේතුව වන්නේම ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය දුර්වල වීමයි. පවතින දුර්වල දේශපාලන ක්‍රමය තුළ දේශපාලන සාක්ෂරතාව ගොඩනැඟීමට සහ මහජනතාව ඒ පිළිබඳව දැනුම්වත් කිරීමට තවත් විශාල කාලයක් ගතවනු ඇත. එහි වැදගත්කම අඛණ්ඩව ඡන්දදායකයින් දැනුම්වත් කිරීමෙන් යම් වෙනසක් මෙරට දේශපාලන තුළ සිදු කළ හැක.

දේශපාලන සාක්ෂරතාවයන් සහිත වූ විටදී ඡන්දදායකයා වැඩි දැනුමක් ඇති තරමට නීති විරෝධී තීරණවල නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කිරීම, වගවීම ඉල්ලා සිටීම සහ අයිතිවාසිකම් ඉල්ලා සිටීම සිදු කරයි. දේශපාලන චින්තනය ප්‍රකාශ කිරීම, දේශපාලනයකට සහභාගී වීම, මැතිවරණ සහාය දීම හෝ විවේචනය කිරීම සහ මහජන සේවාවන් නිරීක්ෂණය කිරීම සඳහා දේශපාලන සාක්ෂරතාව වහා අවශ්‍ය වේ. මහජනතාවගේ දේශපාලන සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් අතීතයේ සිටම යන්ත්‍රණයක් සකස් කර කිරීමට උත්සහ කළද ඒවාද කෙටිකාලීන වූ අතර ඔවුන්ගේ වැඩසටහන් ද අතරමඟ නතර විය.

දේශපාලන සාක්ෂරතාව යනු මැතිවරණ සහ රාජ්‍ය ක්‍රියාවලින් අවබෝධ කර ගැනීම, දේශපාලනයේ නියැළෙන ආකාරය දැනගැනීම සහ විවිධ දෘෂ්ටිකෝණයන් ඇගයීම සඳහා විවේචනාත්මක චින්තන කුසලතා ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගි වීමට අවශ්‍ය කුසලතා සමූහයයි. දේශපාලන සාක්ෂරතාවය ඇති කිරීම සහ වැඩිදියුණු කිරීම වහා කළ යුතුයි. දේශපාලන සාක්ෂරතාව ඇතිකිරීම සඳහා මාධ්‍ය සාක්ෂරතාව සහ තොරතුරු සාක්ෂරතාව ඇති කිරීම ඉතා වැදගත් වේ. අවසාන වශයෙන් හුදු විරෝධතා සහ විවේචනවලට වඩා සාධනීය විවාදයක යෙදීම දේශපාලන සාක්ෂරතාවය තුළින් සිදු කළ හැකිය.

මෙවර මහමැතිවරණයේදී ද විශාල දේශපාලන පක්ෂ රාශියක් සහ ස්වාධීන කණ්ඩායම් රාශියක විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වී සිටී. රටේ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රමාණයකට දේශපාලන සාක්ෂරතාවය නොමැති වීම සහ මාධ්‍ය ඔස්සේ ගොඩනඟන මතයන් නිසා යෝග්‍යම නියෝජිතයා තෝරා ගැනීමේ හැකියාවක් නැහැ. මේ නිසා පෙර මැතිවරණවලදී ජනතාව රවටමින් ඔවුන්ගේ ඡන්දය ලබා ගැනුණි. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී යම්තාක් දුරකට මේ තත්ත්වය වෙනස් වූ බවක් දක්නට ලැබුණි. ජනතාව දැන් ලබාදුන් පොරොන්දු පිළිබඳව ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇත. මෙය එක්තරා ආකාරයට සාධනීය තත්ත්වයකි. ජනතාවගේ දේශපාලන සාක්ෂරතාවය ඉහළ දැමීමට දේශපාලනඥයින් අකමැත්තක් දක්වන අතර ඊට හේතුව වන්නේ ජනතාවට දේශපාලන සාක්ෂරතාවය ලැබුණු පසු ඔවුන්ගේ පොරොන්දු දේශපාලන කරමින් ඉදිරියට බලය ලබා ගැනීමට නොහැකි වීමයි.

දේශපාලන සාක්ෂරතාවයේ නොදියුණුකම හේතුවෙන් අපේ රටේ වර්තමානය පමණක් නොව අනාගතය ද බරපතළ ලෙස පහළ මට්ටමකට ඇදවැටී ඇත. දේශපාලන තනතුරුවල දුර්වල ලෙස ක්‍රියා කරන අයගේ පැවැත්මට ජන සමාජයේ දේශපාලන නූගත්කම හේතු වී ඇති බව පිළිගෙන මෙරට ජනතාවගේ දේශපාලන සාක්ෂරතාව වර්ධනය කිරිමට ඉදිරියේදී හෝ කටයුතු කළ යුතුයි.