තමා සතු සියලු සහල් තොග පිළිබඳ නිවැරැදිව පාරිභෝගික සේවා අධිකාරියට අනාවරණය කර ඇති බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයාට ශක්තියක් වීම තම අභිප්‍රාය බවත්, සියලු සහල් වර්ග පාලන මිලට යටත්ව වෙළෙඳාම් කරන බවත් ඒ මහතා කියා සිටියේය. ඩඩ්ලි සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (2) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා තමා සතුව ඇතතේ කීරි සම්බා සහල් බවත්, එසේ වීමට හේතුව ගොවි ජනතාවට කීරි සම්බා වැඩිපුර වගා කිරීම බවත් පෙන්වා දෙයි. කිරී සම්බා සහල් මේ වන විට වෙළෙඳපොළේ බහුලව තිබුණද තමන් පමණක් නොව අනෙකුක් සහල් ව්‍යාපාරිකයන්ටද ලැබෙන්නේ කීරි සම්බා සහල් බව හෙතෙම පෙන්වා දෙයි. කිසිදු අවස්ථාවක තමා නාඩු සහල් සගවා ඟැනීමක් සිදු නොකර ඇති බවද පෙන්වා දෙන ඩඩ්ලි සිරිසේන මහතා තමන් සතු සියලු නාඩු සහල් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවද කියා සිටියේය.
බොහෝ පුද්ගලයන් නාඩු සහල් යන්ත්‍රානුසාරයෙන් කීරි සම්බා බවට පත් කරන බවට තමාට චෝදනා නැඟුවද කිසිදු අවස්ථාවක තමා එසේ නොකරන බවත්, අවශ්‍ය නම් ඕනෑම පුද්ගලයකුට තමන්ගේ සහල් මෝල වෙත පැමිණ සත්‍ය තත්ත්වය ඇසින් බලාගත හැකි බවද හෙතෙම කියා සිටියේය. කීරි සම්බා මේ වන විට වෙළෙඳපොළේ බහුලව තිබුණද තමා දන්නා අයුරින් ඉදිරියේ ගොවි මහතුන් වැඩිපුර වගා කර ඇත්තේ නාඩු සහල් හෙයින් ගොවි මහතුන් අස්වැන්න නෙළූ සැණෙකින් වෙළෙඳපොළේ නාඩු සහල් බහුල වන බවද හෙතෙම කියා සිටියේය.