ගාලු වරායේ නව විදත් සිතියම එළිදැක්වෙයි

ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් පසුව ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම ඉකුත් 1 වැනිදා එම කාර්යාලයේදී සිදුකෙරිණි. 2024 අංක 7 දරන ජල ශාස්ත්‍රීය පනත ඔස්සේ ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වෙත පැවරූ ජාතික වගකීම ඉටු කිරීම සනිටුහන් කරනු ලබන මෙම ගාලු වරායේ විද්‍යුත් සිතියම එළිදැක්වීම මඟින්, ඊට පෙර භාවිත කළ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලයෙන් 1907 වසරේ ප්‍රකාශයට පත් කර ඇති ඉතා පැරණි දත්ත සහිත අංක GB 50019 දරන ගාලු වරායේ විද්‍යුත් සිතියම භාවිතයෙන් ඉවත් වේ. එමෙන්ම 1907 වසරේදී එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් නිකුත් කර ඇති ගාලු වරායේ පැරණි විද්‍යුත් සිතියම අවම නිරවද්‍යතාවක් ඇති දත්ත සහිත සිතියම් වර්ගීකරණයට (CATZOC ‘C’) අයත් වන අතර, ඒ හේතුවෙන් ගාලු වරාය වෙත නෞකා ඇතුළු වීම ද සීමා වී ඇත.

නාවිකයන්ට නාවික ගමනාගමනය සඳහා මුද්‍රිත නාවික සිතියමක් වෙනුවට පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම විද්‍යුත් සිතියම අංක LK5GO4A1යටතේ නිකුත් කර ඇති අතර, මෙම සිතියම් භාවිත කරන සෑම නෞකාවක් වෙතින්ම වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 25ක දායක මුදලක් ද ලැබෙන බැවින් දිවයිනේ ජාතික ආර්ථිකයට විදේශ විනිමය රැගෙන ඒමට ද මෙම විද්‍යුත් සිතියම් නිර්මාණය කිරීම තුළින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයට හැකියාව ලැබෙනු ඇත.